Pasidol

Sathosa

Jun 19, 2018

වෛද්‍ය හිඟය නිසා අක්ෂි රෝහ‍ල අඩපණ වෙයි

ජාතික අක්ෂි රෝහ‍ලේ දෘෂ්ටි විතානය සම්බන්ධ පරීක්ෂණ කිරීමේ ඒකකය (රෙටිනල් යුනිට්) තුළ පවතින වෛද්‍ය හිඟය හේතුවෙන් එය වැසී යාමේ අවදානමක් පවතින බව අක්ෂි රෝහ‍ලේ වෛද්‍යවරු පවසති.
වෛද්‍යවරු අවම වශයෙන් අට දෙනෙකු සිටිය යුතු මෙම අංශයට මේ වන විට සිටින්නේ වෛද්‍යවරු දෙදෙනෙක් පමණක් බැවින් රෝගීන් අපහසුතාවයට පත්ව ඇතැයි එම වෛද්‍යවරු පවසති. මෙම ඒකකයේ මේ වන විට තාවකාලිකව විශේෂඥ වෛද්‍යවරියන් යොමු කර තිබුණද වෛද්‍යවරු හිඟය නිසා රෝගීන්ගේ ‍පොරොත්තු ‍ලේඛනය අවුරුදු දෙකක කාලයක සිට පවතින බව ඔවුහු කියති.
 
දෘෂ්ටි විතානය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන මෙම ඒකකය තුළ සාමාන්‍යයෙන් ශල්‍යකර්ම 60ත් 80ත් අතර ප්‍රමාණයක් සිදුකරයි. එමෙන්ම මෙම ශල්‍යකර්මවලින් සාර්ථකත්වයක් ලබාගැනීමට නම් ඒවා ඉතා ඉක්මනින් සිදුකළ යුතු බවද වෛද්‍යවරු කියති. මෙම ඒකකය වැසුනහොත් දැනට අවුරුදු දෙකක් තිස්සේ පවතින රෝගීන්ගේ ‍පොරොත්තු ‍ලේඛනය තවත් අවුරුදු ගණනකට පිටුපසට යන බව ඔවුහු කියා සිටියහ.
 
දෘෂ්ටි විතානය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ඒකක තුනක් මේ වන විට ජාතික අක්ෂි රෝහ‍ලේ පවතින අතර ඒවායේද රෝගීන්ගේ ‍පොරොත්තු ‍ලේඛනය අවුරුදු දෙකක පමණ කාලයක් පවතින බවද වෛද්‍යවරු පවසති. ස්ථාන මාරු මගින් ජාතික අක්ෂි රෝහලට වෛද්‍යවරු අනුයුක්ත නොවීම හේතුවෙන් මෙම වෛද්‍ය හිඟය පවතින බවද වෛද්‍යවරු ප්‍රකාශ කළහ.
 
මේ සම්බන්ධයෙන් ජාතික අක්ෂි රෝහ‍ලේ අධ්‍යක්ෂ වෛද්‍ය එල්.කේ. මොහන්දිරම්ගේ මහතා පැවැසුවේ ජාතික අක්ෂි රෝහ‍ලේ දෘෂ්ටි විතානය සම්බන්ධ පරීක්ෂණ කිරීමේ ඒකකයේ වෛද්‍යවරු හිඟයක් පවතින බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top