මයිලන්කුලම පදංචි කේ.ඒ.කරුණාවති මහත්මිය වගා කටයුතු සදහා ඉඩම එළි පෙහෙළි කරමින් සිටිය දී එකවරම අගල් 8-10ත් ප්‍රමාණයේ මැටියෙන් නිමකරන ලද පිළිස්සූ උර කැට කැබැල්ලක් මතුව ඇති අතර, එම ස්ථානය සෝදිසි කළ කරුණාවතී මහත්මියගේ සැමියා වන ජී.ඩී.පියසිරි ආනන්ද මහතා විසින් උදැල්ලක ආධාරයෙන් පාෂාණ ස්ථරයක් ඉවත් කිරීමෙන් සිදුකළ කැණීමකදී මෙම ස්ථානයේ කුඩා ළිදක් මතුව ඇති බව ඔවුන් කියා සිටී.
පසුව ප්‍රදේශවාසීන්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙම ළිද සුද්ද පවිත්රකර ඇති අතර එහි තිබූ පස් වැලි වළං කැබිලි හා පැරණි මුහුදු සිප්පි කටු තොගයක් ගොඩ දමා තිබේ. මෙම ළිද අඩි අටකට ආසන්න වට ප්‍රමාණයකින් යුක්ත අතර, අඩි 40ට ආසන්න ගැඹුරකින් යුක්ත බව ජී.ඩී.පියසිරි ආනන්ද මහතා පවසයි.
මෙම ළිද පසුගිය නියං කාලයේදී මෙම පවුලේ උදවියගේ ජල අවශ්‍යතා සපුරා ගැනීම සදහා මහත් පිටු වහලක් වී ඇති අතර මෙයට දිය උල්පත් මාර්ගයෙන් ලැබෙන භූගත ජලය බීමට ඉතාමත් සුදුසු බව කියයි.
මෙම ඉපැරණි ළිද සුද්ධ පවිත්‍ර කිරීමේ දී කාලය නිර්ණය කිරීමට නොහැකි පිලිස්සු මැටි වළං වල කොටස් රැසක් හමුව ඇති අතර, එහි මල් බදුන් වලට සමාන නිෂ්පාදනයන් අලංකාරවත් කැටයම් භාවිතයෙන් ඔප දමා සකසා තිබූ කැබිලි හමුවී ඇත. මී ඔය ආශ්‍රිතව පෙර රජ දවස මැටි වළං ආශ්රිත දියුණු තාක්ෂණික කර්මාන්ත පුරයක් එහි පිහිටා තිබූ බවට පැරණි පොත පත මගින් සනාථ වී තිබේ. එසේම මෙම මයිලන්කුලම ප්‍රදේශයේ සිට කුවේණිය විසුවායැයි පැවසෙන තම්බපන්නිය පිහිටා ඇත්තේ මීට කි.මී30 ආසන්න දුරකින් බව කියයි.
ඵෛතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමක් ඇති මෙම දුර්ලබ ගණයේ ළිද පිළිබද තවමත් පුරා විද්‍යා නිලධාරින්ගේ නිසි අවධානය යොමුව නැති අතර, පුත්තලම පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරින්ගෙන් විමසූ විට ඔහුන් පවසා සිටියේ එම ළිද සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත්, මෙය වසර 500ට වැඩි ඉතිහාසයකින් යුක්ත බවට තමන්ට හැගෙන බවයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී මෙම ඉඩමේ පදිංචි කේ.ඒ.කරුණාවති මහත්මිය,
"දවසක් මමයි මගෙ මහත්තයයි දෙන්නා ඉඩම සුද්ධ කරදදි එක පාරටම අමුතු සද්ධයක් ඇහුණා. ඒත් එක්කම බලද්දි මගෙ උදලු තලේට පැටලිලා ලොකු මැටි ලෑල්ලක් මතු වුණා. මොකක්ද කියලා විපරම් කෙරුවා. බලද්දි පුච්චපු වළං කට්ටක්. ඊට පස්සෙ මොකද කෙරුවෙ මගෙ මහත්තයා අතේ තිබ්බ උදැල්ලෙන් එතනට කෙටුවා කොටලා බලද්දි ලොකු වලං රවුමක් උඩට මතුවෙලා තිබුණා. ඉතිං තවත් ටිකක් සුද්ධ කරගෙන යද්දි වටේටම අර කියපු වලං රවුම පෙන්න තිබ්බා. අපි මොකද කෙරුවෙ එදාම තවත් කොල්ලො හතර පස් දෙනෙක් එකතු කරගෙන මේක හෑරුවා. හාරගෙ හාරගෙන යද්දි අපිට හිතුනා මේක ජබුර ළිදක් හොද වතුර ඇති කියලා . තව ටිකක් හාරගෙන යද්දි පරණ සිප්පි කටු ගොඩක් හම්බවුණා. ඒ විතරක් නෙමෙයි මල් පෝච්චි වගේ පොඩි පොඩි කෑලි වගයකුත් ඒ පස් එක්ක තිබ්බා. ඉතිං ඔහොම ගොඩක් ගැඹුරට හාරගෙන යද්දි වතුර මතු වී ගෙන එනවා අපි දැක්කා .අපි තවත් මේ ළිද හොඳට සුද්ධ කෙරුවා .සුද්ධ කරලා බලද්දි ළිදේ වතුර තැබිළි වතුර වගේ. එදා ඉදලා මේ ළිදෙන් තමයි අපි ගමේ ගොඩක් කට්ටිය වතුර බොන්න ගෙනියන්නෙ" යැයි හෙතෙම කීය.
කෙසේ නමුත් අදාළ ළිද වටා මේ වන විට පොළොවෙන් ඉහල කොටස ගඩොල් බැමි කිහිපයකින් අඩි දෙකකට ආසන්න ප්‍රමාණයක බැම්මක් ඉදිකර ආවරණය කර ඇති බව දක්නට ලැබුණි.
සටහන සහ ඡායා
ප්‍රියංකර කළුපහන - පුත්තලම