Jun 20, 2018

'ඒකාබද්ධයේ ඇතැමුන් අගමැතිට 'කඩේ' යනවා' - මහින්දානන්ද

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ඇතැම් පිරිස් මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් පුද්ගලයන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර දෙන ආකාරයෙන් කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

නඩු විභාගයක් සඳහා කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවලට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් මුළු ආර්ථිකයම බංකොලොත් වී මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව පෙන්වා දුන් අලුත්ගමගේ මන්ත්‍රිවරයා ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් ඇමෙරිකානු ඩොලරයේ වටිනාකම රට තුළ ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළේය.

මෙම අරාජික තත්ත්වයෙන් රටත්, ජනතාවත් ගලවා ගැනීම සඳහා වහා ආණ්ඩුව පෙරළා දැමීම විපක්‍ෂයේ ප්‍රමුඛ අවශ්‍යතාව වුවත් ඒකාබද්ධ විපක්‍ෂයේ සහ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායමේ ඇතැම් පිරිස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වාසියක් කරමින් සිටින බව චෝදනා කළේය.

පටු ක්‍රියාමාර්ග තුළින් කඩා වැටෙමින් පවතින රජයට වාසිදායක තත්ත්වයන් නිර්මාණය කර දෙනවා වෙනුවට විපක්‍ෂයේ සැබෑ කාර්යභාරය තේරුම් ගෙන ක්‍රියා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ සියලු පාර්ශ්ව වගබලා ගත යුතු බවද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected]r.com දුරකථන - +94 114 546 362

Top