Pasidol
Jun 25, 2018

ගෝඨාගේ ප්‍රකාශයට පැය දෙක හමාරයි (update)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පිටව ගොස් තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25) පෙරවරු 09.00ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනවලට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද එම කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය 2.30 කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇති බව වාර්තාවේ.

last update- 02.00pm

-----------------------------------------------------------------------------------------------------------------------------------

ගෝඨා අද FCID යට !

ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25දා) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණීමට නියමිතව ඇත.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙලෙස විමර්ශන කොට්ඨාසය වෙත පැමිණීමට නියමිතව ඇත්තේ, තංගල්ල, වීරකැටිය, ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

මෙම සිද්ධිය මුල්කර ගනිමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටි ප්‍රදේශයේ විශේෂ පොලිස් ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබේ.

මීට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සිතාසියක් ලද විටක අධිකරණය හමුවේ පෙනී සිටීමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් 14 වැනිදා අභියාචනාධිකරණයේදී එකඟ වී තිබිණි.

මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සහ ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.

(මව්බිම)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top