Pasidol
Jun 25, 2018

විදෙස් ගමන් බලපත්‍ර නිකුතුව නවතින ලකුණු ! Featured

ආසන්න කාලයක් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම නවතා දැමීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කිරීම නතර වීමේ අවදානමක් මතුවීමට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පාර්ශව පිළිබද මේ වනවිට තොරතුරු අනාවරණ වෙමින් පවති.

විදෙස් ගමන් බලපත්‍ර තොග ක්‍රමයෙන් අඩුවෙමින් ඇති බව, දැනට ඒවා සපයන සමාගම රජයට දන්වා තිබුණේ ඉකුත් වසරේදීය.

ඊට අදාළව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අලූත් තොග ලබාගැනීම සදහා ඉකුත් නොවැම්බර් මාසයේදී කැබිනට් පත්‍රීකාවක් යොමු කර ඇතත් ඊට මුදල් අමාත්‍යාංශයෙන් හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් විරෝධයක් එල්ලවී තිබු අතර අනතුරුව එම ගැටළුව පිළිබද සොයා බැලීම සදහා අමාත්‍යාංශ 03 ක ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණ. ඒ සති දෙකක් තුළ නිර්දේශ ලබාදෙන ලෙස දන්වමිනි.

එහෙත් එම කමිටුවේ පළමු රැස්වීම පැවැත්වීමට පවා මාස එක හමාරක් පමණ කල්ගත වි ඇති බවත් වත්මන් ගැටළුවට ප්‍රමුඛ ලෙස බලපා ඇත්තේ එම ප්‍රමාදය බවටත් වාර්තාවේ.

වහාම ලක්‍ෂ 10 ක නව තොගයක් :

එහෙත් විදෙස් ගමන් බලපත්‍ර තොග ක්‍රම ක්‍රමයෙන් අඩුවීමේ ගැටළුව උග්‍රවීම මත ලක්‍ෂ 10 ක නව තොගයක් ලබා ගැනීමට කැබිනට් අනු කමිටුව තීරණය කර තිබිණ. ඒ, ඉකුත් මැයි 14 වනදාය. 

ඊට අදාළ ඇස්තමේන්තු ලබාගැනීමට තීරණය කර ඇත්තේද දැනට ඒවා සපයන සමාගම හරහාය. ඊට අදාළ කැබිනට් පත්‍රීකාව හෙට (26) රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත. 

එහෙත් හෙට දිනයේ ඊට අනුමැතිය ලැබුණද මෙරටට විදෙස් ගමන් බලපත්‍ර ගෙන්වීම සදහා තවත් මාස 5 ක පමණ කාලයක් ගතවන බව ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අනාවරණ විය. ඒ, ඊට අදාළ ක්‍රීයාවලිය සංකීර්ණ වීම හේතුවෙනි.

විදෙස් ගමන් බලපත්‍ර මෙරටට ගෙන්වීම සදහා ණයවර ලිපි විවෘත කිරීම දක්වා ක්‍රීයාවලියට පමණක් මාසයක පමණ කාලයක් ගතවන බව එහිදී හෙළි විය.

සියළු රටවලට නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර තොග අවසන්:

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සියළු රටවලට නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර තොග අවසන් වී ඇත.

ඒ අනුව එම විදෙස් ගමන් බලපත්‍ර දැන් නිකුත් කරන්නේ මැද පෙරදිග රටවල් සඳහා පමණක් නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍රය හරහාය. එහි ඇති රටවල්වලට පහලින් සියලූ රටවල් සඳහා මෙම විදෙස් ගමන් බලපත්‍රයද වලංගු වන බවට මුද්‍රණය නිකුත් කෙරේ.

මෙම කාරණය සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී වැඩිදුරටත් හෙළි වුණේ එම තොගය ද ප්‍රමාණවත් වන්නේ තවත් මාස 4 කට පමණක් බවයි. 

ඒ අනුව පවතින තත්ත්වය සැලකීමේදී මාසයකට ආසන්න කාලයක් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම නවතා දැමීමට සිදුවීමේ අවදානමක් ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසති.

(නෙත් නිව්ස්)

සබැඳි පුවත් :
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අනතුරක ! 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top