Jun 26, 2018

STF වෙඩි ප්‍රහාරයකින් මධූෂ්ගේ දකුණේ ප්‍රධානියා මරුට

ඊයේ (25) පස්වරුවේ සිදුවූ වෙඩි හුවමාරුවකින් අනතුරුව රෝහල්ගතකළ මාකඳුරේ මධූෂ්ගේ දකුණේ ප්‍රධාන ගෝලයා වන මානෙල් රෝහණ නොහොත් තිලක් නමැති පාතාල නායකයා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මාතර කඹුරුපිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් බරපතළ තුවාල ලැබූ ඔහු කඹුරුපිටිය රෝහලට ඇතුලත්කරන විටද මියගොස් සිටි බව ද පොලිසිය කියා සිටියි.

පොලිස් ආරංචිමාර්ග පවසන පරිදි, කඹුරුපිටිය ප්‍රදේශයේ අවිගත් කණ්ඩායමක් සැරිසරණ බවට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයේ විල්පිට ප්‍රදේශයේ විශේෂ මාර්ග බාධකයක් යොදා රාජකාරියේ යෙදී සිට ඇත.

එම අවස්ථාවේදී ඊයේ රාත්‍රී 7.45 පමණ ත්‍රිරෝද රථයක් අකුරැස්ස සිට කඹුරුපිටිය දෙසට අණ නොතකා ධාවනය කර තිබේ.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අදාළ ත්‍රිරෝද රථය ලුහුබැඳගොස් ඇති අතර එය එක්වරම කැලෑබද ප්‍රදේශයකට අතුල්කළ ත්‍රිරෝද රථය නවතා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙසට වෙඩි තබා ඇත.

එම අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදුකළ ප්‍රතිප්‍රහාරයෙන් අනතුරුව එම ස්ථානයේ වැටී සිටියදී අදාළ සැකකරු හමුවී ඇති අතර ඔහු සතුව තිබී T 56 වර්ගයේ ගිණි අවියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කඹුරුපිටිය හොරපාවිට ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මානෙල් රෝහණ නොහොත් තිලක් නමැති පාතාල නායකයා බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථයේ පැමිණි අනෙක් පිරිස එම අවස්ථාවේ පලාගොස් ඇති අතර එම සැකකරුවන් සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් මේ වනවිට ආරම්භ කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top