Jun 26, 2018

'ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව සියලු තීරු බදු රහිත භාණ්‌ඩ අලෙවිය එක්‌ සමාගමකට දීලා'

ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙතෙක්‌ අනුගමනය කළ සියලු ටෙන්ඩර් මණ්‌ඩල ක්‍රමවේදයන්ගෙන් බැහැරව එම සමාගමේ සියලු තීරු බදු රහිත භාණ්‌ඩ අලෙවි කිරීමේ කොන්ත්‍රාත්තුව ෆීනික්‌ස්‌ ඩියුටි ෆ්‍රී සර්විසස්‌ ලංකා සමාගමට ලබාදී ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ තීරු බදු රහිත භාණ්‌ඩ අලෙවි කිරීමේ සේවා අංශයේ කළමනාකරු රශ්මො ෆර්ඩිනැන්ඩස්‌ මහතා ඊයේ (25 දා) ශ්‍රීලංකන් ගුවන්, ශ්‍රීලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල අක්‍රමිකතා පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

කිසිදු විනිවිදභාවයකින් තොරව හුදෙක්‌ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල අනුමැතියකින් පමණක්‌ අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගමට පිරිනමා ඇති බවද මීට පෙර මේ සඳහා මාස හයෙන් හයට සැපයුම්කරුවන් සඳහා ටෙන්ඩර් කැඳවූ බවද සාක්‍ෂිකරු කීය.

අධ්‍යක්‍ෂ මණ්‌ඩල පත්‍රිකාවක්‌ ඉදිරිපත් කර අධ්‍යක්‍ෂ මණ්‌ඩල අනුමැතිය ලබාගෙන ෆීනික්‌ස්‌ ඩියුටි ෆ්‍රී සර්විසස්‌ ලංකා සමාගම සමඟ එම කොන්ත්‍රාත්තුව ක්‍රියාවට නංවා ඇති බවද ෆර්නැන්ඩස්‌ මහතා ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

මුලින් මේ සමාගම සුවඳ විලවුන් හා රූපලාවන්‍ය උපකරණ තීරු බදු රහිතව සැපයීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟ 2010 නොවැම්බර් මස සිට 2011 මැයි මස දක්‌වා එකඟතාවක්‌ ඇතිකරගෙන තීරු බදු රහිතව භාණ්‌ඩ සපයමින් සිටියදී මේ සම්බන්ධයෙන් නව යෝජනාවලියක්‌ ඉදිරිපත් කර තිබූ බවද සාක්‍ෂිකරු කීවේය.

දෙවැනි යෝජනාවලිය ෆීනික්‌ස්‌ ඩියුටි ෆ්‍රී සර්විසස්‌ සමාගම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රීලංකන් සමාගමේ සම්පූර්ණ තීරු බදු රහිත භාණ්‌ඩ සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාගැනීම සඳහා බවත් එම සමාගම ඉදිරිපත් කර තිබූ යෝජනාවලියට ශ්‍රීලංකන් ගුවන් සමාගම අනුමැතිය ලබා දී තිබූ බවත් ඒ සඳහා ලිඛිත සාක්‍ෂි ඇති බවත් සාක්‍ෂිකාර ෆර්නැන්ඩස්‌ මහතා කොමිසමට කීවේය.

 පළමුව දැක්කේ FCID යෙදී !

 තමාට මේ කොන්ත්‍රාත්තුව පෙන්වා නැති බවත් එය තමා මුලින් දුටුවේ පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ දී බවත් ඒ මහතා කීවේය.

අදාළ සමාගමට කොන්ත්‍රාත්තුව ලබාදීමට පෙර වෙනත් තීරුබදු රහිත භාණ්‌ඩ සැපයුම්කරුවන්ගෙන් යෝජනා කැඳවා නැති බවද සාක්‍ෂිකරු කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

මේ කොන්ත්‍රාත්තුව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ද ෆීනික්‌ස්‌ ඩියුටි ෆ්‍රී සර්විසස්‌ ලංකා සමාගම වෙනුවෙන් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි දිලාන් වීරසිංහ මහතා ද අත්සන් කර ඇතැයි ද සාක්‍ෂිකරු කීවේය.

මේ කොන්ත්‍රාත්තුවට තමා සාක්‍ෂිකරුවකු ලෙස අත්සන් කර ඇති බව පිළිගත් සාක්‍ෂිකරු ඊට හේතු පැහැදිලි කරමින් කීවේ සමාගමේ ඉහළ නිලධාරියකු වූ චානක ඔලගම මහතාගේ කීම අනුව තමා ඊට සාක්‍ෂිකරුවකු ලෙස අත්සන් කළ බවයි.

(දිවයින)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top