Jun 26, 2018

'UGC අරමුදල් බැඳුම්කරයට යෙදෙව්වේ මම නොවේ' - ඇමති කබීර්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC ) අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරිමට මහ බැංකුවේ බැඳුම්කර සඳහා යොමු කළේ තම පාලනය යටතේ නොවන බව මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් පසුගිය දා අමාත්‍යවරයාට චොදනා එල්ල වු අතර ඊයේ (25) කෑගල්ල කමිටු රැස්වීම අවසන් වු පසු මාධ්‍යවේදින් අමාත්‍යවරයාගෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

වත්මන් රජයේ දින සියයේ වැඩපිළිවෙල යටතේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කලද තම ධුර කාලයෙන් පසු සරත් අමුණුගම මහතාට එම අමාත්‍ය ධුරය ලැබු අතර ඔහු යටතේ එම ක්‍රියාවලිය සිදු වු බව කබිර් හෂීම් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

පසු ගිය රජය සමයේ වැඩක් !

කෙසේ වෙතත් මෙම අරමුදලේ මුදල් ආයෝජනය කිරිම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මඩුල්ලේ තීරණයක් බවත් එය සිදු කිරිම සඳහා මුලික පියවර ආරම්භ කළේ පසු ගිය රජය සමයේ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම මෙම මුදල් ආයෝජනය සඳහා 2015 වසරේදි නිතීපතිවරයාගේ අවසරයද ලැබි ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියාසිටියේය.

කෙසේ වෙතත් මාධ්‍ය තුළින් නිසිලෙස කරුණු දැක්වීමකින් තොරව තමාට චෝදනා කරන බවත් නිවැරදිව සිදුව ඇති දේ පිළිබඳ කරුණු දැක්වීමට නොහැකි වු බව ද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කර සිටියේ, පසුගියදා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසින් නිකුත්කර තිබු මාධ්‍ය නිවේදනයකට ප්‍රතිචාරයක් වශයෙනි.

මානව හිමිකම් කේන්ද්‍ර‍යේ චෝදනාව ?

පෙබරවාරි 27 දින බැදුම්කර සිද්ධිය වන විට විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස ‘ශානිකා හිරිඹුරේගම‘ මහත්මිය කටයුතු කළ නමුත්, ප්‍ර‍ශ්නකාරී ලෙස ඇය ඉවත් කිරීමට අමාත්‍ය කබීර් හෂීම් මහතා මැදිහත් වූ කාරණය අදටත් ප්‍ර‍ශ්නකාරී බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පවසා තිබිණ.

බැදුම්කර ගණුදෙනුවට රුපියල් මිලියන 1000 කට ආසන්න විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදල් සැපයීම නිසා, මේ රටේ විශ්වවිද්‍යා අධ්‍යාපනයට සිදුවන දිගු කාලීන බලපෑම දශක ගණනාවක් පවතිනු ඇතැයි ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිකුත්කළ නිවේදනයක සඳහන් විය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කිර්ති තෙන්නකෝන් මහතා විසින් එම මාධ්‍ය නිවේදනය නිකුත්කර තිබිණ.

 සබැඳි පුවත් :

ශානිකා හිරිඹුරේගම UCG යෙන් ඉවත්කලේ බැඳුම්කරය යටගහන්නද ? 

බැදුම්කර සිද්ධියෙන් සරසවියට මිලියන 146ක සෘජු පාඩුවක් 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top