Pasidol
Sathosa Ad Final Sinhala
Dec 19, 2016

මුස්ලිම් කාන්තාවන්ට සමානයන් ලෙස සැලකීමක් නැහැ Featured

ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ටත් රටේ සමාන පුරවැසියන් ලෙසින් සලකන මෙන් දශකයකට ආසන්න කාලයක් මුළුල්ලේ කෙරෙන ඉල්ලීම ඉටුකිරීමට කිසිදු උනන්දුවක් නොදක්වන බව මුස්ලිම් ක්‍රියාධාරිනියෝ බලධාරීන්ට චෝදනා කරති.

විශේෂයෙන්ම දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මගින් මුස්ලිම් කාන්තාව දැඩි නොසලකා හැරීමකට ලක්කෙරෙන අතර දැරියන් අපයෝජනයට ලක්වීමට පවා එය හේතු වී ඇති බව මුස්ලිම් මානව හිමිකම් ක්‍රියාධාරිනියෝ පවසති.

එබැවින් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කළ යුතු අතරම, රටේ එතෙක් පැවති සියලුම ලිඛිත සහ අලිඛිත නීති තවදුරටත් බලපැවැත්වෙන බව සඳහන් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16.1 වගන්තිය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බවත් මානව හිමිකම් ක්‍රියාධාරිනී එර්මීසා ටෙගල් පෙන්වා දෙන්නීය.

"මේ ගැන සාකච්ඡා කරනවා විතරයි. කිසිම පියවරක් අරන් නැහැ. සාකච්ඡා කරන්නෙත් කිහිප දෙනෙක් විතරයි," ඇය සඳහන් කළාය.

කිසිම උනන්දුවක් නෑ :

"ඒ සාකච්ඡාවලදීත් මුස්ලිම් කාන්තාවට වෙන නොලකා හැරීම් හෝ අතවර ගැන කතාකරලා, මේක මේ මොහොතේම වෙනස් කළයුතුයි කියල බලපෑමක් තිබිල නැහැ. අපිට හිතන විදියට මේ ගැන කිසිම දෙයක් කරන්න උනන්දුවක් නෑ."

විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16.1 වගන්තිය යටතේ රටේ අනෙක් පුරවැසියන් හා සමානයන් ලෙසින් සැලකුම් ලැබීමේ අයිතිය මුස්ලිම් කාන්තාවට අහිමි කරනු ලැබ ඇති බව එර්මීසා ටෙගල් අවධාරණය කරන්නීය.

"කොයි ආගමක් ඇදහුවත්, කුමන ජනකොටසකට අයත් වුනත් ඒගොල්ලන්ට අයිතියක් තියෙන්න ඕනේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන අවස්ථාවකදී ඒකට විරුද්ධව අධිකරණයකට යන්න," ඇය සඳහන් කළාය.

එහෙත් 16.1 වගන්තිය මගින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමේ අයිතිය පවා අහිමි කරනු ලැබ ඇති බව ඇය කියා සිටියාය.

(බිබිසි සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top