Sathosa

Jul 04, 2018

"බහුතර දෙමළ ජනයාට යළි සන්නද්ධ අරගලයක් අවශ්‍ය නැහැ" - දෙමළ නායකයෝ කියති Featured

උතුරේ පවතින ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධ රැල්ල සහ මත් ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අදහස් පළ වෙමින් තිබේ.

ඇතැම් දේශපාලනඥයන් විසින් ඉහත කී ප්‍රකාශය විග්‍රහ කරනු ලබන්නේ ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්දය ඉලක්ක කර ගනිමින් "දේශපාලන වාසි" ලබා ගැනීමේ අරමුණින් කළ ප්‍රකාශයක් ලෙසය.

දකුණේ සිංහල ප්‍රජාවට අයත් ඇතැමුන් ඒ සම්බන්ධයෙන් කෝපයෙන් යුතුව සමාජ ජාල ඔස්සේ අදහස් පළ කර තිබෙන ආකාරය දකින්නට ලැබේ.

"එයාලට හිට්ලර් ඕන නම් අපි හිට්ලර් ලබා දීමට සූදානම් නේද මිත්‍රවරුනි" ලෙස සඳහන් ඡායාරූපයක් ෆේස්බුක් සමාජ ජාලය තුළ හාරදහසකට වැඩි පිරිසක් විසින් 'Share' කරනු ලැබ ඇත.

 102310895 334d14a7 1b91 47ca b6ad 9faaecffcdf3

උතුරේ හෝ දකුණේ වේවා ඒකාධිපති පාලනයකට කිසිදිනක ඉඩ නොතැබිය යුතු බව මහේෂ්වරන් ඇමතිවරියගේ ඉහත කී ප්‍රකාශය හෙළා දකින දකුණේ තවත් සමහරෙකුගේ අදහස වී තිබේ.

අමාත්‍යවරිය ඉහත කී ප්‍රකාශය සිදු කරන අවස්ථාවේ එහි සිටි අමාත්‍ය වජිර අබේවර්ධන සිය කතාව අතරතුර අදහස් දක්වමින් පවසා තිබුණේ "අපි හැමෝම එකම ශ්‍රී ලාංකිකයන් විදියට ජීවත් විය යුතුයි. එයට විරුද්ධව කිසිම කෙනෙක් කිසිම දෙයක් නොකළ යුතුයි," යනුවෙනි.

තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුව අදහස් දක්වමින් මහේෂ්වරන් ඇමතිවරිය කියා සිටියේ එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවක් සිය කතාවෙන් අදහස් නොකළ බවය.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් පවත්වන ලද සජීවී ෆේස්බුක් සංවාදයකදී දුරකථනය ඔස්සේ අදහස් දැක්වූ ඇය තමන්ට එම මොහොතේ ඇති වූ "ආතතිය" හේතුවෙන් එවැන්නක් ප්‍රකාශ වූ බව කියා සිටියාය.

 එල්ටීටීඊය ශ්‍රී ලංකාව තුළ තහනම් 'ත්‍රස්තවාදී' සංවිධානයකි.

 ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය අතර තිස් වසරකට ආසන්න කාලයක් ගැටුම් පැවතිනි. 2009 වසරේදී එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් වන අවස්ථාවේ ගැටුම්වලින් 70,000-80,000 අතර සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව විශ්වාස කෙරේ.

යුද්ධයෙන් අනතුරුව උතුරු පළාතේ මත්පැන් භාවිතය සහ මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව උතුරු පළාතේ දේශපාලන නායකයන් අවස්ථා ගණනාවකදී පවසා තිබුණි.

ස්ත්‍රී දුෂණ සහ අපචාර ඉහළ යාමට එම තත්ත්වය හේතු වී ඇති බවක් ද එහිදී කියවිණි.

මහේෂ්වරන් ඇමතිවරිය සිය කතාව තුළ ආණ්ඩුවට චෝදනා කරමින් පවසන්නේ හමුදාව සතු ඉඩම් යළි ලබා දීම හැරුණු කොට වැන්දඹු පවුල්, උපාධිය නිම කළ තරුණ තරුණියන්, එල්ටීටීඊ සාමාජිකයන්ව සිට පුනරුත්ථාපනය ලැබූවන් වෙනුවෙන් "කිසිවක් කර නොමැති" බවය.

එසේ තිබියදී දේශපාලන නායකයන් සිය මෝටර් රථ මගින් යාපනයට මත් ද්‍රව්‍ය රැගෙන එන බවට ද ඇය චෝදනා කරයි.

 102311253 d3ebef8b 159c 47d2 b9ac 24aed8767f09සිය ස්වාමිපුරුෂයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී මහේෂ්වරන් 2008 වසරේදී ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ විජයකලා මහේෂ්වරන් දේශපාලනයට පිවිසියාය

උතුරේ බහුතර මතය:

ඉහත කී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බව උතුරේ දේශපාලනඥයන් බහුතරයකගේ මතය වී තිබේද?

උතුරු පළාතේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසන්නේ එල්ටීටීඊ සංවිධානය පමණක් නොව කුමන හෝ ආකාරයේ සන්නද්ධ අරගලයක් පිළිබඳ තමන් විශ්වාසය නොතබන බවය.

සාමකාමී මාර්ගයෙන් විසඳුම් සෙවිය යුතු බව සිය ස්ථාවරය වී ඇතැයි ඔහු කියා සිටියේ ඇමතිවරියගේ ඉහත කී ප්‍රකාශය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මහේෂ්වරන් අමාත්‍යවරියගේ මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ සහ දකුණේ සෙසු දේශපාලනඥයන්ගේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්දැයි යන්න පිළිබඳ තමන් අවධානයෙන් සිටින බවත් ඔහු සඳහන් කළේය.

උතුරේ ජනතාව තවමත් එල්ටීටීඊ සංවිධානය පිළිබඳ විශ්වාසය තබා සිටීදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් කියා සිටියේ ඔවුන් තුළ එවැනි විශ්වාසයක් ඇතැයි සිතිය නොහැකි බවය.

 ''ඒකාන්තයෙන් ඔවුන්ට යළි සන්නද්ධ අරගලයකට යාමට අවශ්‍ය නැහැ''

 "ඒකාන්තයෙන් ඔවුන්ට යළි සන්නද්ධ අරගලයකට යාමට අවශ්‍ය නැහැ, ඒක මට සහතිකවම කිව හැකියි," ඔහු පැවසීය.

"හිටපු එල්ටීටීඊ සටන්කරුවන් හෝ වෙනත් සටන් සංවිධානවල හිටපු සාමාජිකයන් ඇතුළු අතිවිශාල බහුතර දෙමළ ජනයාට යළි සන්නද්ධ අරගලයක් අවශ්‍ය නැහැ. මට ඒ ගැන සියයට සීයයක් විශ්වාසයි."

"මනාප ලබා ගැනීමේ අපේක්ෂාවෙන්" ඇමතිවරිය කළ ප්‍රකාශය කිසිවෙකුත් විශ්වාස නොකරනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"උතුරේ, දකුණේ, නැගෙනහිර, බටහිර කවුරුන්ට හෝ හිට්ලර් කෙනෙකු පිළිගත නොහැකියි. එය සිදුවිය නොහැක්කක්," පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක එස් තවරාජා විසින් අදාළ ප්‍රකාශය හඳුන්වනු ලැබුවේ "පිස්සු ප්‍රකාශයක්" ලෙසය.

දෙමළ ජනතාවගේ මතය එය නොවන බව කී ඔහු ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිතුරු ලබාදිය යුතු බව පැවසීය.

UNP 670px 22 02 18 එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය

එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන් වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය කිසි ලෙසකින් අනුමත නොකරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් තමන් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිනියගෙන් කරුණු විමසන බවය.

"එතුමිය ප්‍රකාශ කරලා තියෙනවා අදහස් කරේ විනයක් ඇතිකරන්න ඕනේ කියන එක කියලා. නමුත් මේ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ මතයක් නෙවෙයි. ඒ ප්‍රකාශය අපි කිසිලෙසකින් අනුමත කරන්නේ නැහැ," අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා පැවසීය.

"එක්සත් ජාතික පක්ෂයේ විතරක් නෙවෙයි, අනිත් පක්ෂවලත් මේ වගේ විවිධ මත කියන අය ඉන්නවා. ඒ ප්‍රකාශවල භයානකකම සැලකිල්ලට ගන්නවද කියල ප්‍රශ්නයක් තියෙනවා. ඒවා එච්චර හිතල කියන ඒවා නොවෙයි සමහර වෙලාවට.

සමහර වෙලාවට ඒ තියෙන ප්‍රශ්නවලට විසඳුමක් ලෙස විනයක් ගෙන්න ඕන කියලා හිතල කියන කතා ඕවා. මේක එක්සත් ජාතික පක්ෂය සම්පුර්ණයෙන්ම බැහැර කරනවා."

උතුරේ මත්ද්‍රව්‍ය ගැටලු, ස්ත්‍රී දුෂණ වැනි දේ වැළැක්වීමට පොලිසිය අසමත්වීම මන්ත්‍රීවරිය නැවත එල්ටීටීඊ පාලනයක් ගැන කතාකිරීමට හේතුවී ඇත්දැයි විමසු විට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ එම ගැටලුවලට විසඳුම එල්ටීටීඊ පාලනයක් නොවන බව සැවොම දන්නා දෙයක් බවය.

"මෙච්චර මිනීමරපු සමූල ඝාතනය කරපු සංවිධානයක් ගේන්න ඕනේ කියනවනම් අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ එහෙම කියන්න පුළුවන්ද කියලා. ආරක්ෂක අංශ උතුරේ ඒ ප්‍රශ්න විසඳන්න ක්‍රියාමාර්ග අරගෙනයි තියෙන්නේ."

Parlimant 670px 17 02 18පරීක්ෂණයක් පැවැත්වීමට නියෝගයක්

 

මේ අතර අඟහරුවාදා (ජුලි 03) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ අමාත්‍යවරිය විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ කණ්ඩායම් උණුසුම් අයුරින් අදහස් පළ කළ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කරන බව කථානායක කරු ජයසුරිය පැවසීය.

(බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top