Jul 04, 2018

''එක් පැත්තකින් හිට්ලර් ඉල්ලද්දී තව පැත්තකින් ප්‍රභාකරන් ඉල්ලනවා''

බෙදුම්වාදී පැසිස්ට්වාදී ව්‍යාපාරයක් සාධාරණීකරණය කළ විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිනිය ඒ සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිනිය, ස්වදේශ කටයුතු ඇමැති හා විදේශ අමාත්‍යවරයාද සිටියදී සිදු කරන ලද බරපතළ වැරැදි ප්‍රකාශය ජ.වි.පෙ. දැඩි පිළිකුලෙන් හෙළා දකින බවද ගම්පහ දිස්ත්‍රික් ජ.වි.පෙ. මන්ත්‍රි විජිත හේරත් පැවැසීය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් එසේ කීවේය.

හෙතෙම මෙසේද කීය.

වසර තිහක කාලයක් යුද කරමින් ක්‍රියා කළ පැසිස්ට්වාදී බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් ඇමැතිනිය සිදු කර ඇත්තේ බරපතළ වැරැදි ප්‍රකාශයක්. මහජන නියෝජිතයකු ලෙස එහෙම ප්‍රකාශ කරන්න බැහැ.

ඍජුව හෝ වක්‍රව හෝ රට කඩන්න කිසිදු උදව්වක් කරන්නේ නැතැයි දිව්රුම් දෙන මහජන නියෝජිතයකු බෙදුම්වාදී ව්‍යාපාරයක් සාධාරණීකරණය කිරීම බරපතළ වරදක්.

රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රට අරාජික වෙලා. බැංකු කඩනවා. මිනී මරනවා. මේවාට ක්‍රියා කරන්න එක පැත්තකින් හිට්ලර්ලා අවශ්‍ය යැයි කියනවා.

එල්.ටී.ටී.ඊ. ප්‍රභාකරන් අවශ්‍යයි කියන්නෙත් මෙවැනි අරාජික තත්ත්වයක් තුළයි.

එල්.ටී.ටී.ඊ. ආයුධ සන්නද්ධව සිටියදී කුඩා දරුවන්, ළමයින් පැහැර ගත්තා. මීට වඩා හොඳ තත්ත්වයක් තිබුණේ නැහැ. එල්.ටී.ටී.ඊ. පාලනය තුළ මානව හිමිකම් ආරක්‍ෂා නොවූ බව උතුරේ ජනතාවත්, සමස්ත රටේ ජනතාවත් දන්නවා.

 වරප්‍රසාද කමිටුව වහාම කැඳවන්න:

 මන්ත්‍රිවරුන් ගැන අනුගමනය කරන ක්‍රියාමාර්ග තිබෙනවා. ඒ වරප්‍රසාද පනතට අනුව. වරප්‍රසාද කමිටුව වහාම කැඳවන්න. මේ ප්‍රකාශය ගැන වහාම කඩිනම් පරීක්‍ෂණ කරන්න. ඒ අනුව නීතිමය පියවර ගන්න. එල්.ටී.ටී.ඊ. ගැන මේ සභාවේ මෙන්ම පිටතදීත් විවිධ ප්‍රකාශ කෙරෙනවා.

ඒ වගේම එල්.ටී.ටී.ඊ. නායකයන් කරුණා අම්මාන්ද මේ පාර්ලිමේන්තුවේ ඇමැති ධුර දැරුවා. පිල්ලෙයාන්ලා ඇමැතිකම් දැරූ බවත් මතක තබාගත යුතුයි.

ජාතිය අරාජික කළ ආණ්ඩුව මෙවැනි ප්‍රකාශ භාරගත යුතුයි. විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිනියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් උද්ගතවීම ගැන මාධ්‍යවේදියකු මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මන්ත්‍රිවරයා මෙසේ කීය.

මෙවැනි ප්‍රකාශයක් පිළිබඳ මන්ත්‍රිවරුන් තමන්ගේ සුපුරුදු ස්වභාවයෙන් එහා ගිහින් හැසිරීම පාලනය කරන්න අමාරුයි. ප්‍රකාශයේ ස්වභාවය අනුවයි එවැනි හැසිරීම් ඇති වෙන්නේ. මේ තත්ත්වය ඇති වෙන්න කලින් ආණ්ඩුවට මෙය වළක්වා ගන්න තිබුණා.

ඊයේ රාත්‍රියේ හෝ මේ ප්‍රකාශය ගැන ක්ෂණික ක්‍රියා මාර්ගයක් ගත්තා නම්. එහෙම කළා නම් අනවශ්‍ය හැසිරීම් ඇති වෙන්නේ නැහැ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top