Jul 04, 2018

අමානුෂික නවක වදෙන් බේරෙන්න SLIATE සිසුවිය පොලිසි යයි

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ පළමු වසරේ සිසුවියකට අමානුෂික ලෙස නවකවදය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි දෙවැනි වසරේ සිසුවකු හා සිසුවියන් හතර දෙනා එක් අයකු රුපියල් පහළොස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනෙවිය ඊයේ (3දා) නියෝග කළාය.

ඇප නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ට දැඩි ලෙස අවවාද කරමින් ඉදිරියේදී මෙවැනි සිද්ධිවලට සම්බන්ධ වී තිබුණොත් ඇප අවලංගු කරන බවද පැවැසුවාය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ එම ආයතනයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන හෙට්ටිආරච්චිගේ උදිත නිරෝෂ සිසුවාත්, අබේගුණවර්ධන සමරසිංහ රසික දිල්ශානි, සමරක්කොඩි මලිදුව ආරච්චිගේ නදීකා ප්‍රියදර්ශනී, මොහොට්ටිගේ චන්ද්‍රිකා දර්ශනි, පහළවත්ත හෙට්ටිගේ යුරේකා ලක්රුවනි යන සිසුවියන් සිවුදෙනාත්ය.

බෙලිඅත්ත ප්‍රදේශයේ සිට පැමිණ ඇති පළමු වසරේ සිසුවියක් තමාට අමානුෂික ලෙස නවක වදය දෙන බව පවසා ඉකුත් 19 වැනි දින අක්මීමණ පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව පරීක්ෂණ පැවැත්වීමෙන් පසු පොලිසිය සැකකාර සිසුවා සහ සිසුවියන් හතර දෙනා අත්අඩංගුවට ගෙන ඉකුත් 20 දින සවස අතිරේක මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.

සැකකරු හා සැකකාරියන් වෙනුවෙන් ලලිත් පතිරණ, දසුන් තරංග මාවඩවිල, පුලස්ති සංජය සිල්වා යන නීතිඥවරු පෙනී සිටි අතර අක්මීමණ පොලිසිය පැමිණිල්ල මෙහෙයවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top