Jul 07, 2018

ETI සමාගමේ අධ්‍යක්ෂවරුන්ට රට යෑම තහනම් ! Featured

ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ (එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ෆයිනෑන්ස් ලිමිටඩ්) අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ යන අයට විදේශ ගතවීම තහනම් කරමින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවීමට ක්‍රියාත්මක කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න නියෝග කළාය.

එලෙස නියෝග කරනු ලැබූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් අනුව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්. බාරි මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

 නීති රෙගුලාසිවලට පටහැණිව කටයුතු කරලා :

 බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා පෙත්සම සහ දිවුරුම් පෙත්සම ඉදිරිපත් කරමින් දක්වා ඇත්තේ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් සමාගමේ කළමනාකාරිවය විසින් 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ වගන්තිවලට අනුව මහ බැංකුව නිකුත් කර ඇති නීති රෙගුලාසිවලට පටහැණිව කටයුතු කර ඇති බවයි.

මහ බැංකුවේ බැංකු නොවන ආයතන අධීක්ෂණ ආයතන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඉදිරිපත්කර ඇති කරුණු පිළිබඳව සෑහීමකට පත්විය හැකි බව මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටිමින් ඉහත නියෝග නිකුත් කළාය.

නියෝගයට අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීම සඳහා අනෙකුත් පාර්ශ්වයන්ට ජූලි 18 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසටද නොතිසි නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ජූලි 18 වැනිදා නඩුව කැඳවීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top