Jul 11, 2018

අගමැති කොටුකරන මෙහෙයුමක් !

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව 'දේශ හිතෛෂී වෘත්තිකයෝ' නමැති සංවිධානයක් විසින් ඊයේ (10 දා) අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරනු ලැබීය.

බැඳුම්කර වංචාවට අගමැතිවරයාගේ සම්බන්ධතාව දක්‌වමින් ඊට අදාළ කරුණු රැසක්‌ ගොනු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එමගින් සිදුවූ පාඩුව වළක්‌වා ගැනීමට ක්‍රියා කිරීමට අපොහොසත් වීම සහ විශේෂයෙන් 2016 මාර්තු 29 සහ 30 දිනවල සිදුකළ දෙවන බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම හේතුවෙන් අල්ලස්‌ පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය පිළිබඳ වරදට අධි චෝදනා ඉදිරිපත් කළ හැකි බවද දක්‌වමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

"දේශ හිතෛෂී වෘත්තිකයෝ" සංවිධානය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ටී.එම්.එන්.ඒ. තෙන්නකෝන් සහ නීතිඥ රාජා ගුණරත්න යන මහත්වරුන් විසින් ඊයේ පෙරවරු 10.30 ට පමණ අල්ලස්‌ කොමිසම වෙත පැමිණ මේ පැමිණිල්ල භාරදෙන ලදී.

අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කිරීම :

අල්ලස්‌ කොමිසමට ඊයේ ඉදිරිපත් කළ ලිඛිත පැමිණිල්ල මගින් බැඳුම්කර වංචාවට අගමැතිවරයාගේ සම්බන්ධතාව දක්‌වන ප්‍රධාන කරුණු හතක්‌ විස්‌තරාත්මකව කරුණු සහිතව දක්‌වා ඇති අතර එමගින් අර්ජුන මහේන්ද්‍රන් (හිටපු මහ බැංකු අධිපති) ආරක්‌ෂා කිරීමට සහ මෙම ප්‍රශ්නය යටපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් දැරූ අඛණ්‌aඩ ප්‍රයත්නය ද කරුණු අටක්‌ යටතේ දක්‌වා ඇත.

මේ වංචාව මගින් මහජන අරමුදල්වලට සිදුවූ අතිවිශාල පාඩුව වළක්‌වා ගැනීමට සුදුසු පියවර ගැනීමට අගමැතිවරයා කිසිදු කැමැත්තක්‌ දක්‌වා නැති බවද, 2016 මාර්තු 29 දින පවත්වන ලද දෙවැනි බැඳුම්කර ගනුදෙනුව ඉතා පහසුවෙන් වැළැක්‌වීමේ හැකියාව අග්‍රාමාත්‍යවරයාට තිබුණු බවද "දේශ හිතෛෂී වෘත්තිකයෝ" සංවිධානය ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්‌වේ.

අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති ටී. බී. වීරසූරිය මහතා වෙත මේ ලිඛිත පැමිණිල්ල යොමුකර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top