nsb
Sathosa

Jul 11, 2018

"මම වැරදි කළා නම් දඬුවම් දෙන්න" - කතරගම බස්නායක නිළමේ

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස තමා කටයුතු කළ කාලය තුළ වරදක් කර ඇත්නම් තමාට දඩුවම් කරන ලෙසත් එසේ නැතිනම් තමාට නැවත බස්නායක නිළමේ ධූරය ලබාදෙන ලෙසත් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩි.පී. කුමාරගේ මහතා ඉල්ලා සිටී.

ඒ මහතා ඊයේ (10 දා) මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගනිමින් තමාට සිදුව ඇති අසාධාරණය පිළිබඳව මෙසේ කියා සිටියේය.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස තමාගේ සේවය මාස තුනක කාලයකට තහනම් කළ බවත් එම කාලය ඊයෙන් අවසන් වන බවත් ඒ අනුව ඒ පිළිබඳව මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය දැනුවත් කළ බවත් හෙතෙම මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නිළමේවරයා,

"එදා ඇමති තුමා සඳහන් කළේ මාස තුනක් වැඩ තහනම් කරනවා කියලා. පස්සේ පරික්ෂණයක් සිදු කරන බවත් සඳහන් කළා. නමුත් මේ වනතෙක් කිසිඳු චෝදනා පත‍්‍රයක් ලබාදී නෑ.
මගේ අතින් නොදැනුවත්කමින්වත් වරදක් සිදුවුණාදැයි හිතුවා. ඒත් එවැනි කිසිවක් වුණේ නෑ . ඒ නිසා මම සියයට සියයක් නිවැරදියි. වරදක් නැතිනම් තමන්ගේ වැඩ තහනම ඇමතිතුමා ඉවත් කළ යුතුයි. මේ පිළිබඳව ඉදිරියේදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරනවා.මහ නාහිමිවරුන් දෙනමත් කිව්වේ වරදක් ඇත්නම් චෝදනා පත‍්‍රයක් ලබාදී පරික්ෂණයක් කළ යුතු බව. ඉන් පසුව අවශ්‍ය පියවර ගන්නවා මිස දිගින් දිගටම මේ වගේ කටයුතු කිරිම සාධාරණ නෑ. ඇමතිතුමාගේ ප‍්‍රශ්න නිසා මෙවරත් පෙරහැර කරන්න මට හැකියාවක් නැහැ. කොහොම නමුත් මෙවර පෙරහැර ඉතා මන්දගාමියි.වරදක් නැතිනම් මාස තුනක් ඇතුළත මට යළි බස්නායක නිළමේ ධුරය බාර දෙන බව එදා ඇමතිවරයා කිව්වා" යැයි පැවසීය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ තමා මේ පිළිබඳව දැනගැනීමට තුන් වතාවක් ඉල්ලිම් කළද කිසිඳු පිළිතුරු නොලැබුණු බව බස්නායක නිළමේවරයා කියා සිටී. කිරිවෙහෙර හාමුදුරුවන්ට පවා වෙඩි තැබීමට හේතුව කපු මහත්වරුන්ට අනවශ්‍ය බලයක් ලබාදීම බවත් දේවාල කපු මහත්වරුන්ට අනවශ්‍ය බලය දීම නිසා නොයෙක් අකටයුතුකම් සිදුවන බවත් හෙතෙම පවසයි.

දේවාලවල අයිතිය හාමුදුරුවන්ට සහ බස්නායක නිළමේවරයා සතු වන බව පවසන නිළමෙවරයා කපු මහත්වරුන් යනු වැටුපට රස්සාවක් කරන පිරිසක් බව පෙන්වා දෙයි. කපු මහත්වරුන් දේවාලවල අයිතිකරුවන් වීමට යාමෙන් මේ ගැටලු පැන නගින අතර ඔවුන්ගේ සැලැස්ම ලබන වසරේ මුදල් ලබාගැනීම බවද ඔහු කියා සිටී.

එමෙන්ම කපු මහතුන් කිපදෙනෙකු අසීමිත බලය ලබා ගැනීමට තැත් කරද්දී තමාට තව වසර දෙකක් බස්නායක නිළමේ ධුරය දරන්න හැකියාව ඇති බවද බස්නායක නිළමෙවරයා කියා සිටියේය.

හේරත් ඒකනායක - මහනුවර

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top