Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Jul 11, 2018

එල්ලා මැරීමට රාජිතත් එරෙහි වේ ! Featured

මත් කුඩු ඡාවාරමට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලදී යෝජනා වුවත් තමා ප්‍රතිපත්තියක් ලෙස එයට විරුද්ධ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද(11) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ කැබිනට් හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

යලි මරණ දණ්ඩණය ක්‍රියාත්මක කල යුතු බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවට එකඟතාවය පළ කරමින් බොහෝ දෙනා සතුටු වුවත් මෙවැනි තීරණ ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රතිඵලයක් ලබා ගත නොහැකි බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මත්කුඩු ඡාවාරමේ නියැලී සිටින දැනට වැරදිකරුවන් වී බන්ධනාගාරවල සිටින හා නැවත නැවතත් එම ඡාවාරමට වැරදිකරුවන් වු පුද්ගලයින් 19 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති බව ජනාධිපතිවරයා පැවසු බවත් ඔවුන්ට මෙම නීතිය යටතේ එල්ලා මැරීමට තීන්දුවක් ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ද ලබා ගන්නා අතර, එම පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් වහාම සකස් කර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

කුඩු ව්‍යාප්තිය නතර කිරීම සඳහා මරණ දඬුවම යළි ක්‍රියාත්මක කල යුතු බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ම සිය විරෝධය පළකර තිබිණ.

ජනපති අත්සන ගහන්න සුදානමින් :

කෙසේවුවද, ජනාධිපතිවරයා අද (11) පෙරවරුවේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවති “මතට එරෙහිව පාසලෙන් ජවයක්” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පැවසුයේ, මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බවයි.

මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතිය ද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගත යුතු තීන්දු තීරණ නිසි කලට ගතයුතු බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

 සබැඳි පුවත් :

එල්ලන්න ගියොත් ඉල්ලගත්ත GSP + නැතිවෙයි ? 

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට මංගල එරෙහිවේ !

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top