Pasidol
Jul 11, 2018

ජනාධිපති ක්‍රමය අහෝසිකරන 20 ගැසට් කෙරේ !

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර ඇත.

පසුගිය සඳුදා දිනයේදී මෙම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කර ඇත්තේ නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුවය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම මූලික කරගත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය මැයි මස 25 වනදා කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දෙනු ලැබිය.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට අනුව විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපතිවරයෙකු බවට පත් කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍යයේ, නායකයා මෙන්ම සේනාධි නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජනාධිතිවරයායි.

කෙසේ වෙතත්, ආණ්ඩුවේ ප්‍රධානියා සහ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස අග්‍රාමාත්‍යවරයා නම් කර තිබේ.

ජනපති තෝරාගැනීම මන්ත්‍රී ඡන්දයෙන් :

ජනාධිපතිවරයා තෝරා ගනු ලබන්නේ මහජන ජන්දයෙන් නොවන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයගේ කැමැත්තෙන් එම තෝරා ගැනීම සිදු කිරීමට යෝජනා කර ඇත.

අමාත්‍ය මණ්ඩලය නම් කිරීම, කොමිෂන් සභා වලට නිලධාරීන් පත් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පත් කිරීමේ බලය ද විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගෙන් ඉවත් කර තිබේ.

ජනාධිපති ධුර කාලය වසර 05කට සීමාවන අතර ධූරය දරණ කාලසීමාව තුල ජනාධිපතිවරයා කිසිදු දේශපාලන පක්ෂයකට නායකත්වය හෝ සාමාජිකත්වය නොදැරිය යුතුයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්මත කරන ලද පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලතල ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීම 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ද ඇතුලත්වේ.

මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් මෙය සම්මත විය යුතු වේ.

යම් හෙයකින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් එය ක්‍රියාත්මක වනු ලබන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් පසුවයි.

පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට:

මීළඟ පියවර ලෙස ගැසට් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මීලඟට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව ඊට එරෙහිව කිසියම් පාර්ශවයකට අවශ්‍ය නම් අධිකරණය හමුවට යාමේ අවස්ථාව හිමි වේ.

ඉදිරියේදී රැස්වන පක්ෂ නායක රැස්වීමකදී 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිශ්චිතවම විවාදයට ගන්නා දිනය තීරණය කරනු ඇත.

මෙම පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂවල සහයෝගය ලබා ගැනීමට එම පාර්ශවයන් හමුවී සාකච්ජා කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමල ජාතික සන්ධානය මෙම සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට පක්ෂව සහ විපක්ෂව විවිධ අදහස් ඉදිරිපත් කර ඇත.

ගැසට් නිවේදනය මෙතනින්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top