nsb
Sathosa

ශ්‍රී ලංකා යුද හමුදාවට භාරදීමෙන් අනතුරුව ආගිය අතක් නැතියවුන්ගේ ඉරණම හෙළි කර ගැනීම සඳහා..    ශ්‍රී ලංකා යුද හමුදාවට භාරදීමෙන් අනතුරුව ආගිය අතක් නැතියවුන්ගේ ඉරණම හෙළි කර ගැනීම සඳහා..  
Jul 12, 2018

අතුරුදහන් කරවීම් :හමුදා සෙන්පතියන්ගෙන් ප්‍රශ්න කිරීමට යයි ! Featured

ශ්‍රී ලංකා යුද හමුදාවට භාරදීමෙන් අනතුරුව ආගිය අතක් නැතියවුන්ගේ ඉරණම හෙළි කර ගැනීම සඳහා යුද්ධයේ අවසාන අදියරේ අණදුන් හමුදා සෙන්පතියන්ගෙන් ප්‍රශ්න කිරීමට අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලය (OMP- Office on Missing Persons) බලාපොරොත්තු වේ.

යුද හමුදා අත්අඩංගුවට පත්වූවන් භාරගත් නිලධාරීන් පිළිබඳව ඥාතීන් විසින් ලබා දෙන තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එම විභාග කිරීම් අනිවාර්යයෙන්ම සිදු කරන බව OMP ප්‍රධානි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කරයි.

භාරගත් අයට අත්වූ ඉරණම හෙළිකර ගැනීම සඳහා එවක වන්නි ආඥාපති ජනරාල් ජගත් ජයසූරිය සහ අත් අඩංගුවට ගැනීම අධීක්ෂණය කළ බව ඥාතීන් පවසන 58 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් ප්‍රශ්න කරන ලෙස යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) OMP කාර්යාලයෙන් මැයි මාසයේ ලිඛිත ඉල්ලීමක් කර තිබුනි.

චෝදනා වලින් නිදහස් වීමට :

එම ඉල්ලීම පරිදි හමුදා නිලධාරීන්ගෙන් ආරම්භයේදීම ප්‍රශ්න කිරීමෙන් සත්‍යය හෙළි කරගැනීමට ඇති හැකියාව පිළිබඳව සැක පලකළ OMP ප්‍රධානියා, මාධ්‍යවේදීන් සමග කොළඹ පැවති විශේෂ හමුවකදී කියා සිටියේ ශ්‍රී ලංකාවට නැගෙන චෝදනා වලින් නිදහස් වීමට නම් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීම අත්‍යාවශ්‍ය බවයි.

“ITJP සංවිධානය අහලා තියෙනවා අපෙන් ජෙනරාල් අහවල්, අහවල් අයව කැඳවලා සාක්ෂි ගන්නේ නැද්ද කියලා,” යි සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.

“විමර්ශනයක් යම් ක්‍රමයකට වෙන්න ඕනෙනේ. එක පාරටම මම හිතන්නේ නැහැ අපි අහවල් පුද්ගලයාව කැඳවලා මොකක්ද උනේ කියලා ඇහුවට උත්තර ලැබේවි කියලා. ඊට වඩා විද්‍යානුකුලව විමර්ශන කරන්න වෙයි. නමුත්, අනිවාර්යයෙන්ම අතුරුදහන් වෙච්ච තැනැත්තකුගේ පවුල් වල අය කියනවා නම් අපි අහවල් අයට නිශ්චිතව බාර දුන්නේ කියලා, අපේ විමර්ශනය ඒ ඔස්සේ කරන්න බලාපොරොත්තු වෙනවා.”

පසු කලෙක හමුදා ප්‍රධානියාද වූ වන්නි ආඥාපති ජගත් ජයසූරිය යුද අපරාධ මෙන්ම අතුරුදහන් කිරීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සිදුකළ බවට චෝදනා කරමින් ITJP සංවිධානය විසින් ලතින් ඇමරිකාවේ නඩු පැවරීමෙන් අනතුරුව ඔහුට විරුද්ධව සාක්ෂි දීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබුනි.

බලහත්කාරයෙන් අතුරුදහන් කර වූවන්:

500 day disappearanance 1 බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සාපරාධී අපරාධයක් කිරීමට විරුද්ධ වීම මගින් අතුරුදහන් කරවීම යුක්ති සහගත කිරීම

රජයේ ආරක්ෂක අංශ වලට භාරදුන්නවුන් සහ පැහැරගෙන යන ලද්දවුන් අතුරුදහන් වුවන් හෝ ආගිය අතක් නැත්තවුන් ලෙස හැඳින්වීමට දැඩි විරෝධයක් දක්වන උතුරේ ඥාතීන්, ඔවුන් බලහත්කාරයෙන් අතුරුදහන් කර වූවන් වග අවධාරණය කරන බව OMP ප්‍රධානියා මාධ්‍යවේදීන්ට පැහැදිලි කර දුන්නේය.

“හමුදාව දන්ගෙඩියට යැවීම” OMP කාර්යාලයේ ඉලක්කය බවට සිංහල ජාතිකවාදීන්ගෙන් නැගෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සාපරාධී අපරාධයක් කිරීමට විරුද්ධ වීම මගින් අතුරුදහන් කරවීම යුක්ති සහගත කිරීම දැඩි ලෙස ප්‍රශ්න කළේය.

“කවුරු හරි බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් කරලා තියෙනවා නම්, මොන හේතුවක් නිසාද ඒ අය ආරක්ෂා කරන්නේ?” යි OMP ප්‍රධානියා මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටියේය.

“සුදු වෑන් වලින් කවුරු හරි බලහත්කාරයෙන් පැහැරගෙන ගිහින් තියෙනවා නම්, ඒ අය ආරක්ෂා කරන්නේ ඇයි? මොන හේතුවක් නිසාද මේ අය ආරක්ෂා කරන්නේ? කප්පම් වලට පුද්ගලයෝ අරන් ගිහින් මරලා තියෙනවා. කොහොමද ඒවා ආරක්ෂා කරන්නේ?”

 කිසිදු ශිෂ්ඨ සම්පන්න රටක් අනුමත නොකරන වැඩක් !

Saliya perise 670px 12 07 18

ලෝකයේ කිසිදු ශිෂ්ඨ සම්පන්න රටක් අතුරුදහන් වීම් අනුමත කරන්නේ නැතැයි අවධාරණය කළ OMP ප්‍රධානී සාලිය පීරිස් මහතා, ඉතිහාසයේ එවැනි අපරාධ සිදුවූ බව ශ්‍රී ලාංකිකයන් විසින් පිළිගත යුතුව ඇතැයි වැඩිදුරටත් කියා සිටියේය.

“උතුරු නැගෙනහිර බොහෝ අය කියන්නේ මරණ සහතික ගැන කතා කරන්න එපා කියලා. 2009 බාර වෙච්ච අය විශ්වාස කරනවා ඒ අය තාමත් කොහේ හරි කඳවුරක ඉන්නවා කියලා.”

ආණ්ඩුවේ ප්‍රධානීන් මෙන්ම ආරක්ෂක බලධාරීන්ද ප්‍රකාශ කරන්නේ හමුදාවට භාරවූ කිසිවකු කිසිදු කඳවුරක රඳවා ගෙන නැති බවයි.

ඥාතීන් හා සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් මුණ ගැසීම සඳහා අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය ඉදිරි සති අන්තයේ කිලිනොච්චියට හා යාපනයට යාමට නියමිතය.

කොළඹ පැවති මාධ්‍යවේදී හමුව සංවිධානය කර තිබුනේ ඉන්ටර්නිව්ස් ආයතනය විසිනි.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top