Jul 17, 2018

ශ්‍රීලංකන් ප්‍රචාරක සේවා සපයා ගන්නා පිය-පුතු සම්බන්ධය හෙළිවේ !

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය ප්‍රචාරක පුවරු සවි කිරීම ඇතුළු වෙනත් ප්‍රචාරක කටයුතු සඳහා සේවා සපයා ගන්නා සමාගම් දෙකක්‌ අතර පවුලේ සම්බන්ධයක්‌ ඇති බව ඊයේ (16 ) ශ්‍රී ලංකන් ගුවන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවිකරණ කළමනාකරු සමින්ද පෙරේරා මහතා පිළිගත්තේය.

මේ සමාගම් දෙක වන කුමාර් ස්‌ටිකර්ස්‌ පුද්ගලික සමාගම සහ විහඟ මාර්කටිං ඇන්ඩ් ඇඩ්වර්ටයිසින් සර්විසස්‌ පුද්ගලික සමාගම අතර පවුල් සම්බන්ධයක්‌ ඇති බවද ඒ අනුව කුමාර් ස්‌ටිකර්ස්‌ හිමිකරුගේ පුතා විහඟ මාලන් බවද සාක්‍ෂිකරු කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

මේ සමාගම් දෙක අතර පොදු අධ්‍යක්‍ෂවරයෙක්‌ සිටින බවද ඇයගේ නම මහේෂා අජන්ති බවද සාක්‍ෂිකරු කීවේය.

කුමාර් ස්‌ටිකර්ස්‌ පුද්ගලික සමාගම සහ විහඟ මාර්කටිං ඇන්ඩ් ඇඩ්වර්ටයිසින් සර්විසස්‌ අතර පවතින සම්බන්ධය තමා දන්නවා දැයි ඊයේ කොමිසම හමුවේ පෙනී සිටි රජයේ නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්‌ථාවේදී සාක්‍ෂිකරු මේ බව හෙළි කළේය.

මේ අනුව කුමාර් ස්‌ටිකර්ස්‌ ආයතනය තමා සැපයිය යුතු සේවා තුන්වන පාර්ශ්වයකට සපයා ඇති බවත් එම සමාගම් දෙක අතර ඒ සඳහා අභ්‍යන්තර ගිවිසුමක්‌ ඇති කරගෙන තිබූ බවත් මෙහිදී රජයේ නීතිඥවරයා කීවේය.

මෙම සමාගම් දෙක සමඟ ඇති කරගෙන තිබූ ගිවිසුම් ඊයේ කොමිසම හමුවේ ඉදිරිපත් කර ඒවා කොමිසමේ ලේඛන ලෙස සලකුණු කර ඒ ගැන සාක්‍ෂිකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ද සිදුවිය. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසම රැස්‌විය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top