Jul 17, 2018

'සන්ඩේ ටයිම්ස් පුවත අසත්‍යයක්, චෙක්පත් විමර්ශන දිගටම' - අගමැති

පසුගිය ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්‍රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබාගෙන, එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී ඇති බවට ඉදිරිපත්ව තිබෙන පැමිණිල්ල සම්බන්ධව සිදුකරන විමර්ශන කිසි ලෙසකින්වත් නතර කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී පැවසීය.

මෙම විමර්ශන නැවතී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද හෙතෙම එහිදී අවධාරණය කර සිටියේය.

අරලියගහ මන්දිරයේ ඊයේ (16) සවස පැවැති එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේ තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

''2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්‍රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් කර ගනිමින් ජනාධිපති කාර්යාලයට ලබාදීමක් සම්බන්ධයෙන් දිසානායක මුදියන්සේලාගේ සරත් දිසානායක නැමැත්තෙක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු 2016 මැයි මස 09 වන දින පොලිස් විශේෂ විමර්ශන ඒකකය විභාගයක් ආරම්භ කළා.

විමර්ශනයට අනුව 2014 දෙසැම්බර් 01 වන දින සිට 2015 ජනවාරි 08 වන දින දක්වා කාලය තුළ චෙක්පත් 82 ක් මගින් රුපියල් මිලියන 1398 ක් බැංකුවලින් මාරු කර එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ට ලබා දී ඇති බව අනාවරණය වී තිබෙනවා.

 චයිනා හාබර් චෙක්පත්:

චයිනා හාබර් ආයතනයේ චෙක්පත් ද මෙයට ඇතුළත් වෙනවා. මේ පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය, ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට එවා තිබෙනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු කරගෙන යනවා. ඒ විමර්ශන කොතැනකවත් නතර කර නැහැ.

2015 දී මේ ගැන විභාග කරන ලෙස ඉල්ලමින් මහ බැංකුව විසින් ස්ටැන්ඩර්ඩ් චාටඩ් චෙක්පතක් රහස් පොලිසියට එවා තිබෙනවා.

ඒ අනුව රහස් පොලිසිය මේ පිළිබඳබ තවමත් විභාග කරමින් සිටිනවා. ඒ සම්බන්ධව සමහර සාක්ෂි තිබෙනවා. තවත් සමහර සාක්ෂි ලැබී නැහැ. මේ කිසිදු පරීක්ෂණයක් නතර කර නැහැ.

 'සන්ඩේ ටයිම්ස් වාර්තාව සම්පූර්ණ අසත්‍යයක්'

 මේ පසුබිම තුළ ඊයේ (15) සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාවක් පිළිබඳ කිහිප දෙනෙක් මගෙන් කරුණු විමසා සිටියා. එහි ලිපියක මේ විමර්ශන නතර කර ඇතැයි සඳහන් කර තිබුණලු. ලිපි ගොනු අංකයකුත් එහි සටහන් කර තිබුණු බවට මට දැනගන්න ලැබුණා.

අද මම පොලිස්පතිතුමයි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමයි, ඒ වගේම අදාළ අංශ දෙකේ ප්‍රධාන නිලධාරීන් හා නීතිපතිතුමා මුණ ගැසුණා. ඒ අවස්ථාවේ ඔවුන් සියලු දෙනාම ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳව පරීක්ෂණ තවමත් ඉදිරියට ගෙන යන බවයි.

පුවත්පතේ පළ වී තිබූ කාරණය පිළිබඳව කිසිවක් නොදන්නා බවත් ඔවුන් ප්‍රකාශ කළා.

ඒ වගේම මහ බැංකු නිලධාරියෙකුගේ උපදෙස් මත විමර්ශන නතර කිරීමක් සිදුව නැති බවත්, පුවත්පතේ සඳහන් කර ඇති පරිදි ලිපි ගොනු අංකයක් ඉදිරිපත්ව නැති බවත් ප්‍රකාශ කළා.

එපමණක් නොව, ඉදිරිපත්ව තිබෙන ලිපි ගොනු අංක ද ඒ අය මට ලබා දුන්නා. මේ අය කියන ආකාරයට සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වී තිබෙන වාර්තාව සම්පූර්ණ අසත්‍යයක්. එවැන්නක් සිදුවී නැහැ.

මොකද, පොලිස් විශේෂ විමර්ශන ඒකකය තිබෙන්නේ පොලිසිය යටතේයි. පොලිසිය යටතේ පවතින ඒකකයක් නවත්වන්න මහ බැංකුවට බැහැ. මහ බැංකුව සිදුකර තිබෙන්නේ එහි චෙක්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී) යැවීමයි.

ඒ අනුව බලන විට පුවත්පතේ සඳහන් පරිදි කිසිවක් සිදුවී නැහැ.''

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top