Jul 21, 2018

වංචා-දූෂණ විශේෂ අධිකරණය අද නොවේ හෙට !

මෙරට සිදුවූ බරපතළ වංචා දූෂණ පිළිබඳ නඩු විභාග කිරීමට කඩිමුඩියේ ස්ථාපිත කළ ස්ථීර විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණයේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කළද එය ඇරඹීමට තවමත් නිශ්චිත දිනයක් නොමැති බව වාර්තා වේ.

අධිකරණ භුමියේ පිහිටි ගොඩනැගිල්ලක් ශ්‍රී ලංකා නාවික හමුදාව ලවා අලුත්වැඩියා කරවා මෙම විශේෂ අධිකරණය සඳහා යොදාගෙන තිබේ. 

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් මෙම ත්‍රී පුද්ගල විනිසුරු මඬුල්ලට පත්කර ඇති අතර සභාපති විනිසුරු වන සම්පත් අබේකෝන් මහතා පසුගිය සතියේ අධිකරණ ශාලාව නිරීක්ෂණය කර ඇත. 

මේ අවස්ථාවට මාධ්‍යවේදීන් පිරිසක්ද එක්ව සිට ඇති අතර සභාපති විනිසුරුවරයා, නාවික හමුදාවට දැනුම් දී ඇත්තේ අධිකරණ ශාලාවේ ඇති සිරමැදිරිය ඉවත් කරන ලෙසය.

වායුසමීකරණය කර ඇති මෙම අධිකරණ ශාලාව නවීන ලී බඩුවලින්ද සමන්විතය. නඩු විභාග නැරඹීමට පැමිණෙන්නන්ටද, සැප සහසුව අසුන් ගැනීම සඳහා නවීන පන්නයේ ස්ථාන සකස් කර ඇති අයුරුද මාධ්‍යවේදීන්ටද දැකගන්නට ලැබී ඇත.

නඩු කටයුතු ආරම්භය සැප්තැම්බරයේ !

දැනගන්නට ලැබෙන පරිදි මේ මාසයේ දී මෙම අධිකරණයේ නඩු විභාග කටයුතු ආරම්භ නොවන අතර අගෝස්තු 10 වැනිදා සිට සති දෙකක් මහාධිකරණ විනිසුරුවරුන්ට නිවාඩු හිමි වේ. 

ඒ අනුව මේ සඳහා පත්කර ඇති විනිසුරුවරුන්ව ඔවුන්ගේ සමාන්‍ය රාජකාරිවලින් නිදහස් කළද නඩු කටයුතු ආරම්භ කිරීමට සිදුවන්නේ සැප්තැම්බර් මාසයේය.

මෙම ස්ථීර ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණයේ විභාග කළ යුතු නඩු පිළිබඳව නීතිපතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් පසු ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම මහාධිකරණය වෙත යොමු කරනු ඇත. 

මෙවැනි ත්‍රීපුද්ගල මහාධිකරණයක (Trail at Bar) තීන්දුවක් අභියාචනය කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පමණි.

මෙම අධිකරණය පසුගිය ජූලි 06 වැනිදා මෙන්ම 16 වැනිදා ද ආරම්භ වන බව ප්‍රසිද්ධ වූ අතර හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහි පැමිණිල්ලක් පළමුව විභාගවන බවද ප්‍රචාරය විය.

සබැඳි පුවත් :
විශේෂ මහාධිකරණයේ පළමු නඩුව ගාමිණීට එරෙහිව ! 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top