Jul 23, 2018

පිටරට ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන්ට බදු ගසන කතාව බොරුවක් !

කිසිදු කණ්ඩායමක් ඉලක්ක ගත කොට ගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් විශේෂ ආදායම් බදු ගොනු සකස් කරන්නේ නැතැයි මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

බදු ගෙවන්නන්ගේ දෑල තවදුරටත් පුළුල් කිරීම සඳහා විදේශ රටවල ඉගෙනුම ලබන සියලුම සිසුන්ගේ දෙමව්පියන් වෙනුවෙන් බදු ගොනු විවෘත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට උපදෙස් ලබා දී ඇති බවත්, 
එම උපදෙස් අනුව පසුගිය වසර තුනක කාලය තුලදී විදේශගත වී ඇති සියලුම දරුවන්ගේ තොරතුරු මේ වන විට ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව තොරතුරු රැස් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවටත් ඇතැම් සමාජ මාධ්‍ය ජාල කිහිපයක පලවී ඇති පුවත සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් මහතා එබව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අලි හසන් මහතා මෙසේද කරුණු දැක්විය.

''වර්තමාන දේශීය ආදායම් පනත යටතේ සෑම පුද්ගලයකුගේම වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් පන් ලක්ෂයක් ඉක්මවන්නේ නම් ඔහු ආදායම් බදු ගෙවිය යුතු වේ.

පුද්ගලයන්ගේ මිලදී ගැනීම් වැනි ගනුදෙනු පිළිබඳ තොරතුරු අශ්‍රයෙන් ඔහුගේ ශුද්ධ ආදායම ලක්ෂ පහක් ඉක්ම වන්නේ යැයි සිතිය හැකි නම් එවැනි තොරතුරු මෙම දෙපාර්තමේන්තුවද ලැබූ විට ආදායම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ඔවුන්ගෙන් කරුණු විමසීමක් කරනු ලැබේ.

උදාහරණයක් ලෙස පුද්ගලයකු ඉතා විශාල මුදලකට ඉඩමක් මිලදී ගැනීමක් හෝ වෙනත් දේපළක් මිලදී ගැනීමක් කළ විට එහි ගනුදෙනුව පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබුන විගස එම තොරතුරු ආශ්‍රයෙන් ඔහුගෙන් කරුණු විමසීම් කරනු ලැබේ.

සියලුම පුද්ගලයන් සඳහා බදුගොනුවක් විවෘත කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අරමුණක් වී ඇත.

එහෙත් ඒ සියලු දෙනාගෙන් බදු අය කිරීම සඳහා නොව සියලු දෙනා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා පමණි.

කරුණු මෙසේ හෙයින් ඇතැම් සමාජ මාධ්‍යවල වාර්තා වන ආකාරයට විදේශ වෛද්‍ය විද්‍යාල වල ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන්ගේ තොරතුරු එක්රැස් කිරීමක් හෝ ඔවුන් වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත වීමක් සිදු නොවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top