''මත්කුඩු සම්බන්ධව රාජපක්ෂලා අද කරන ප්‍රකාශ විහිළු බවට පත්වෙලා''  ''මත්කුඩු සම්බන්ධව රාජපක්ෂලා අද කරන ප්‍රකාශ විහිළු බවට පත්වෙලා'' 
Jul 26, 2018

'කුඩු මුදලාලිව සිප වැලඳගත්තේ මහින්ද' - සීලරතන හිමි

මීගමුවේ කුඩු ජාවාරම්කරුවා පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අල්ලාගත් අවස්ථාවේදී එතනට පැමිණ ඔහුව බේරාගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, වත්මන් ආණ්ඩුව යටතේ කුඩු, එතනෝල් වැඩි වී ඇති බවත්, නීතිය වල්වැදි ඇති බවත් කියන්නේ ඔහුට අතීතය අමතක වීමේ රෝගයක් වැළඳී ඇති නිසාදැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ප්‍රශ්න කර සිටිති.

බත්තරමුල්ල ජනසෙත පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ එසේ ප්‍රශ්න කර සිටියහ.

''බලය තියෙනකොට මොළේ නෑ. මොළේ එනකොට බලේ නෑ කියන කතාව අද වෙනකොට මේ රටේ දේශපාලකයන්ගේ කියුම් කෙරුම් නිසා ඔප්පුවී හමාරයි. පසුගිය ආණ්ඩුවේ ක්‍රියා කලාප හා වර්තමානයේ මත්කුඩු සම්බන්ධව ඔවුන් සිදුකරන ප්‍රකාශ දැන් විහිළු බවට පත්වෙලා.'' යයි එම මාධ්‍ය හමුවේදී පැවසු උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

මීගමුව පළාතේ කුඩු මුදලාලි:

හිටපු ජනාධිපතිවරයා කියන්නේ වත්මන් ආණ්ඩුව යටතේ කුඩු, එතනෝල් වැඩි වෙලා නීතිය වල්වැදිලා කියලයි. එතුමාට අතීතය අමතක වෙලා. එදා කරපු කියුම් කෙරුම්, කුඩු ජාවාරම්කරුවන් රැකපු හැටි එතුමාගේ මතකයේ දැන් නැතිව ඇති. එතුමා බොරු මාධ්‍ය සන්දර්ශන පෙන්වමින් ලකුණු දා ගැනීමට උත්සාහ ගන්නවා. 

එදා රාජපක්ෂවරුන්ගේ යුගයේදී දේශපාලනය කළ මීගමුව පළාතේ කුඩු මුදලාලි කෙනෙක්ව මත්කුඩු සමඟ නීතියට කොටුවුණු වෙලාවේ ඔහුව එස්.ටී.එෆ්. එකෙන් බේරා ගැනීමට ගුවනින් ගිය රටේ ජනාධිපති අයියාත්, ආරක්ෂක ලේකම් මල්ලීත් කුඩු ජාවාරම්කාර මිත්‍රයා බදාගෙන සිප වැලඳගෙන සැනසූ හැටිත්, නීතියේ රැහැනින් බේරා ගත් හැටිත්, රටේ ජනතාවට අමතක වී නැහැ ..''

අල්ලන කුඩු නැවත හොර පාරෙන් වෙළෙඳපොළට !

රටේ ශීඝ්‍ර ලෙස වැඩිවී ඇති කුඩු ජාවාරම පිළිබඳ කරුණු දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවැසූහ.

මේ මත්කුඩු ජාවාරම මෙලෙස ව්‍යාප්ත වුණේ මේ වසර තුනහමාරෙ විතරද? නැහැ. මේ ජාවාරමට දැන් කාලයක් ගෙවුණා. මේකට දේශපාලකයෝ, පොලිසිය, බන්ධනාගාරය, ව්‍යාපාරිකයන්, රේගුව, වරාය මේ හැමෝම සම්බන්ධයි. සල්ලි දෙයියන්ගෙ මල්ලි කියන්නේ ඒකයි. 

බන්ධනාගාරෙට කුඩු අදින්නේත්, ඔවුන්ට රීලෝඩ් දාන්නේත් එහි සේවය කරන නිලධාරීන් විසින්මයි. 

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට ගිය වැරැදි කාරියකට එක විනාඩියක් තමන්ගේ නිවෙසට කතා කිරීමට නම් ඊසි කෑෂ් හරහා රුපියල් 500ක් රීලෝඩ් කළ යුතු බව මට දැන ගැනීමට ලැබුණේ ඉතාම විශ්වාස කටයුතු මාර්ගයකින්. 

ඉක්මනින් පෝසත් වෙන්න නම් හොඳම මාර්ගය කුඩු විකිණීම. ඇහිරීම, ප්‍රවාහනය කිරීම වගේ මාගල් බිස්නස් තමයි.

පසුගිය කාලයේ රට පුරා ඇල්ලූ මත්කුඩු ගබඩා කළා නම් මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩාවත් මදි වෙනවා. අල්ලන කුඩුවලට වෙන දේ රටේ ජනතාවට හෙළිකරන්න. මේ කුඩු නැවත හොර පාරෙන් වෙළෙඳපොළට එන බවටයි ජනතාව චෝදනා කරන්නේ.

කන්හැන්දෙන් එකක් රුපියල් 1,500ක් නම්, තේ හැන්දෙන් එකක් දවසකට ගත්තත් ඇති නේද? මේ රටේ ජනතාවට ගිය ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය එපාම වූ නිසයි ජනතාව වෙනසක් අපේක්ෂා කරමින් යහපාලනය ආණ්ඩුව බලයට පත් කළේ.


ගෝඨාභයට අභියෝගයක් !

හිටපු ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් අහන්නේ ඊළඟ ජනාධිපතිවරණයට ඔබ සූදානම්ද කියලයි. නමුත් මා ගෝඨාභය මහත්මයාගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණයට පෙර ද්විත්ව පුරවැසි භාවය අහෝසි කර රටේ ජනතාවට ඔප්පු කර පෙන්වන්න කියායි.

මත් කුඩු ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ගෙන ඒමට ජනාධිපතිවරයාගේ කැමැත්ත ලැබීම සතුටක්. නමුත් මරණීය දණ්ඩනය දිය යුතු වැරැදි සාහසික අපරාධ රටේ සිදුවෙනවා. හය හතර නොතේරෙන දරුවන් කාමාතුරයන්ට බිලි වෙනවා. ස්ත්‍රී දූෂකයන්ටත්, කාම අපචාරකයන්ටත් මරණ දඬුවම ගෙන ආ යුතුයි. 

සංඝයා වහන්සේ නමක් ලෙස පෞද්ගලිකව ප්‍රාණඝාතයට මා අකැමැති වුණත් රටේ සිදු වෙමින් පවතින මිනිස් ඝාතන නතර කිරීමට කිසියම් වූ ක්‍රමවේදයක් ඇති කරගත යුතුයි. යල් පැනගිය අපරාධ නීතිය වර්තමානයට ගැළපෙන පරිදි යළි සංශෝධනය කළ යුතුයි.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top