''මම හිතන විදිහට 2020 ට පෙර මහින්ද මහත්තයා අගමැති හැටියට පත්වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා'' - වාසුදේව නානායක්කාර ''මම හිතන විදිහට 2020 ට පෙර මහින්ද මහත්තයා අගමැති හැටියට පත්වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා'' - වාසුදේව නානායක්කාර
Jul 26, 2018

'මහින්ද අගමැති වුණොත් ජනාධිපතිවරණයක් නෑ' - වාසුදේව (වීඩියෝ) Featured

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට වුවහොත් 2020 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

TTV නිව්ස් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා එබව සඳහන් කර ඇත.

2020 පෙර අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමේ සැලසුමක් ඇති බවත් එය සාර්ථක වුවහොත් ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය නොවන ආකාරයට පවතින ව්‍යවස්ථාව සංශෝධන කරන බව මන්ත්‍රීවරයා කියා සිටියි.

දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ යන පාරම්පරික දේශපාලනඥයින් දෙදෙනාගෙන් අයකු ඉදිරි ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කල යුතු බවද වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි.

වෙබ් අඩවියේ සංස්කාරිකා දිලිනි දැඩිගමුවගේ විසින් කල විමසීම් හමුවේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කල පැහැදිලි කිරීම් පහත පළවේ.

 

ඔබ පරිණත දේශපාලඥයෙක් ඒ වගේම ජ්‍යේෂ්ඨ දේශපාලඥයෙක්. ඉදිරියේදී ජනාධිපති වෙන්න අදහසක් නැද්ද?

''මගේ දේශපාලන ජීවිතය මම ඉටු කරපු මෙහෙවර මේ වෙනකොට එක්තරා අවසාන සීමාවකට පැමිණෙමින් තිබෙන්නේ. නමුත් මගේ ජීවිතේ අවසාන හුස්ම දක්වා මගේ දේශපාලන පරමාර්ථ වෙනුවෙන් මම කටයුතු කරනවා. නමුත් ඒ වගේ මහා බාරදූර කටයුත්තකට මට අද හැකියාව නැහැ. සුදුසුකමත් මගේ නැහැ කියලයි මම හිතන්නේ.''

රටේ ඊලඟ ජනාධිපතිවෙන්න සුදුස්සා කවුද?

''මගෙන් ඇහුවොත් අපි එකඟවෙලා තියෙනවා මේ ප්‍රශ්නය අපි කතා කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපේ ඒකාබද්ධ විපක්ෂයේ මේ ප්‍රශ්නය පිළිබඳ තීන්දුවක් ගන්න තුරු අපි මේ ගැන කතා කරන්නේ නැහැ කියන එකඟත්වයක ඉන්න නිසා මට එකඟත්වය කඩන්න අමාරුයි.

නැත්නම් මට අදහසක් තියෙනවා කවුද විය යුතු කියලා. ඒක කිවුවොත් මම එතකොට මගේ එකඟත්වය බින්දා වෙනවා. නමුත් මගේ හිතේ තියෙන අදහස නොකිය ඉන්නත් බැහැ මෙහෙම ඇහුවම.

එක්තරා විදිහකට මම හිතාගෙන ඉන්න අය තමයි චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, මේ වගේ අය මම හිතනවා හොඳ දේශපාලඥයෝ, කිළිටි නොවූ ඒ වගේම චෝදනාවලට ලක් නොවූ, ඒවගේම ජනතාවාදී පසුබිමක් තිබෙන ඔවුන්ගේ දෙමාපියන්ගේ කාලෙ ඉඳලා ඔවුන් ඇත්තවශයෙන්ම හැදී වැඩී තිබෙන්නේ ඒ ජීවන පරමාර්ථත් එක්කයි.''

Dinesh Chamal 670px 26 07 18

පොදුජන පෙරමුණේ ඒකාබද්ධ විපක්ෂයේ අය මේ වෙනකොට ජනතාවට යම් බලාපොරොත්තුවක් දෙනවා. හැබැයි දැන් ඔහොම කියනකොට ජනතාව නොමග යවනවා වගේ පේනවා නේද?

''ඒ නිසා තමයි මම කිවුවේ අපි එකඟවෙලා ඉන්නවා ඒ සම්බන්ධව නම් ප්‍රකාශයට පත් නොකර ඉන්න අපි වෙන වෙනම හිතන දේ අනුව. අපි ඔක්කොම එකතුවෙලා තීන්දුවක් අරගෙන අපි සියළු දෙනා එකඟවෙන නම ප්‍රකාශයට පත් කරනවා කියලා අපි තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව උඩ ඉඳගෙන තමයි අපි කිසියම් ප්‍රකාශයක් නොකර ඉමු කියලා එකඟ වුණේ.''

 මේ තීන්දුවලට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තීන්දුව ප්‍රබල වෙනවාද?

 ''ඉතාමත්ම ප්‍රබලයි. එතුමාගේ තීන්දුව තමයි තීරණාත්මක තීන්දුව වෙන්නේ. තීරණාත්මක අදහස වෙන්නේ එතුමාගේ අදහසයි. නමුත් අපි ඔක්කොගෙම අදහස් එතුමා විමසා බලනවා.''

 රාජපක්ෂ කෙනෙක්ම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න අදහසක් තිබුණොත් මොකද වෙන්නේ?

 ''ඔය ප්‍රශ්නය සාකච්ඡාවට ගියත් මම අයිමත් පටලැවෙනවා මම ඉවත්විය යුතුව සිටින සාකච්ඡාවක්. ඒ නිසා මේ කතාව මෙතනින් එහා මට සම්බන්ධ වෙන්න බැරි කතාවක්ව තිබෙනවා.''

Wijayakala 670px 03 07 18''මම හිතන්නේ ඒක නීති විරෝධී ප්‍රකාශයක්''

 විජය කලාගේ ප්‍රකාශය සම්බන්ධව මොකද හිතන්නේ?

 ''මම හිතන්නේ ඒක නීති විරෝධී ප්‍රකාශයක්. මේ රටේ එල්.ටී.ටී.ඊ. සංවිධානය කියලා කියන්නේ තහනම් කරපු සංවිධානයක්. ඒ සංවිධානය මේ රටේ නැවත කිසියම් ප්‍රදේශයක බලවත් විය යුතුයි කියනකොට ඒ අයට බලය තිබිය යුතුයි කියනකොට ඒකේ නීති විරෝධී භාවයක් තියෙනවා.

නමුත් ඒක ඒ වෙලාවේ ආවේගයෙන් කියවුණු දෙයක් නම් ඒක එහෙම කියන්න පුළුවන් විජයකලා මන්ත්‍රිතුමියට. නැතුව හිතාමතාම ඒක එසේ විය යුතුයි කියලා එතුමිය අදහස් කරනවා නම් එතුමියට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගන්න පුළුවන්.''

 ඇත්තටම 2020 දි මොකද වෙන්නේ?

 ''2020 දී මේ රටේ අගමැති හැටියට මහින්ද රාජපක්ෂ මහතා පත් වී ඉන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති ධූරය සහිතව අපිට ජයග්‍රහණයකට ඕනේම ඡන්දයකින් යන්න පුළුවන් වේවි.

මම හිතන විදිහට මහින්ද මහත්තයා අගමැති හැටියට පත් වුණොත්, පත්වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා 2020 ට පෙර. එතකොට අපිට පුළුවන් වේදි ව්‍යාවස්ථාවේ යම් වෙනසක් කරන්න ජනාධිපතිවරණයක් අනවශ්‍යවෙන විදියට. එතකොට අපිට ඉතුරුවෙන්නේ මහ ඡන්දය පමණයි.

මහ ඡන්දය අපට අපහසුවක් නැතුව ජයග්‍රහණය කරන්න පුළුවන් වට පිටාවක් පසුබිමක් ඒ වෙනකොට හැදිලා තියෙනවා.''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top