Jul 30, 2018

"ටුක් ටුක්" නිවේදකට ටිප් ටොප් කැපිල්ලක් !

සංචාරක හිතැති ත්‍රිරෝද රථ සේවාවක් (ටුක් ටුක්) හඳුන්වාදීමේ පළමු වැඩසටහන යටතේ විශේෂ පුහුණුවක් ලැබූ ත්‍රිරෝද රථ රියදුරන්ට සහතිකපත් සහ ඔවුන් සංචාරක කර්මාන්තයට යොමු කිරීමේ නියමු වැඩසටහනේ නිවේදන කටයුතු වලට නම්කර සිටි ප්‍රවීන මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා අවසන් මොහොතේ එම නිවේදන කටයුතුවලින් ඉවත් කිරීමේ සිද්ධියක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ වැඩසටහන අද (30) පැවැතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදීය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද මේ උත්සවයේ නිවේදන කටයුතුවලින් මහේෂ් කපා දමා ඇත්තේ එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක විසිනි.

මහේෂ් හදිස්සියේ ඉන් ඉවත් කිරීමට හේතු ලෙස උපාලි මහතා පෙන්වා දී ඇත්තේ ඔහුට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කාවන් රත්නායක, අමාත්‍ය ජෝන් අමරතුංග, සමන් අතාවුදහෙට්ටි හා අමාත්‍ය මංගල සමරවීර මහතා දුන් උපදෙස් මත සිදු කළ බවයි.

පසුව අප කළ සොයා බැලීමකදී ඔවුන් එවැනි කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් විමසා සිටීමට අපි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතා ඔහුගේ දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top