Sathosa

Aug 03, 2018

ශානිගෙන් ශවීන්ද්‍රට වාග් ප්‍රහාරයක් : බී වාර්තාව ගැන සුහදගෙන් බලපෑම් Featured

කොළඹ දී සාමාන්‍ය පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ සමයේදීත් පෙනී සිටියේ, රහස් පොලීසිය හෝ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නොව සැකකරුවන් වෙනුවෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

තම දෙපාර්තමේන්තුව විසින් කළ පරීක්ෂණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පත් කර සිටි එවකට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වූ එම ජනාධිපති නීතිඥවරයා අදාළ පැහැරගැනීමේ චෝදනා එල්ල වූ ඇතැම් නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා අවශ්‍ය ප්‍රකාශ සඳහා විමර්ශන නිලධාරීන්ට ඉඩ නොදුන් බව ඔහු ප්‍රකාශ කළේ පසුගිය 31 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදීය.

මෙම බාධා කිරීම් නිසා ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණ කිරීමට තිබූ අවස්ථාව විමර්ශන නිලධාරීන්ට මගහැරී ගිය බවත් ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

එවකට නාවික හමුදාවේද හමුදා අධිකරණයේ ස්වේච්ඡා නිලයක් (Judge Advocate) දරූ ජනාධිපති නීතීඥවරයා, නීතිපතිවරයා වෙනුවෙන් අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අධීක්ෂණය කිරීමේ වගකීම පවරා තිබූ නිසා ඔහු ලබාදුන් උපදෙස් අනුව ක්‍රියා කරනු මිස තමන්ට වෙනත් විකල්පයක් නොතිබූ බව ශානි අබේසේකර මහතා සඳහන් කළේය.

රහස් පොලිසිය විසින් අතුරුදන් කිරීමේ සිද්ධිය ගැන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ‘බී’ වාර්තාවල සිය නම සඳහන් කර තිබීම මගින් තමන්ට අගතියක් වී ඇති බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට පෙන්වා දුන් විට අධිකරණයේ අවසරය මත කරුණු පැහැදිළි කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මෙම කරුණු ප්‍රකාශ කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120/2 වගන්තිය අනුව යම්කිසි විමර්ෂණ ප්‍රමිතිය ‘බී’ වාර්තාවකින් අධිකරණයට ඉදිරිපත් කරද්දී ඊට අදාළ කරුණු මිස නොඅදාළ කරුණු දැක්වීම අවශ්‍ය නොවන බව අධිකරණය මෙහිදී ප්‍රකාශකර තිබේ.

එහිදී අධිකරණයට කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ අදාළ විමර්ශනවලට බලපාන බව සිතන කරුණු පවා වාර්තාවලට ඇතුළත් කිරීමට නිලධාරීන්ට හැකියාවක් තිබෙන බවය.

 ඉතිහාස ගතවන 'බී' වාර්තාවක් !

 මේ අතර නීතිපති දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ ‘බී’ වාර්තාව ඉවත් කරගන්නා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛතව දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ඉදිරිපත් කළ බී වාර්තාව ලෙස මෙය ඉතිහාසගත වෙන සිදුවීමක්ද වෙයි.

නාවික හමුදාවේ නිලධාරීන් විසින් කොළඹ දී සාමාන්‍ය පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතැම් දිනවල දී නඩුවට පෙනී නොසිට නිවාඩු ගන්නා ලෙස තමාට බලපෑම් කළ බවට ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා කොටුව අධිකරණයට ‘බී’ වාර්තාවක් මගින් තොරතුරු ඉදිරිපත් කර තිබුණේ මීට කලකට පෙරදීය.

ඒ අතරම නිශාන්තද සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාව ද ඉල්ලා අස්කර නොගැනීමට තීරණය කර ඇති බවද ආරංචි වේ.

(රාවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top