Sathosa

Aug 05, 2018

'උතුරට අද වෙනසක් නැහැ' - අගමැති කියයි Featured

සංවර්ධන කටයුතු සිදුකිරීමේදී උතුරට වෙනසක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ රුපියල් මිලියන පන්දහසක් වැය කරමින් ඉදිකරන ලද නේවාසිකාගාර දෙකක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (04) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ රටේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙලක් මේ වනවිට දියත් කර ඇති බවයි.

ඒ අනුව පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල දියුණුවක් ඇති කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

රටේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් මේ වනවිට දියත් කර තිබෙන බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි අරමුණවී තිබෙන්නේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල දියුණුවක් ඇති කිරීම බව පැවසීය.

යුද්ධයෙන් විනාශ වූ උතුර සංවර්ධනය කිරීම අමතක කර නැති බවත් උතුරු සංවර්ධන වැඩසටහන යටතේ උතුරේ ජන ජීවිතය නැවත නඟාසිටුවීම සඳහා පියවර රැසක් මේ වන විට ගෙන තිබෙන බව හෙතෙම කීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

''යුද්ධයෙන් විනාශ වූ උතුරේ ආර්ථිකය නැවත ගොඩනැගිය යුතුයි''

''යුද්ධයෙන් විනාශ වූ මේ ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලය කෙරෙහි කාලයක් අපට අවධානය යොමු කිරීමට නොහැකි වුණත් අද අපි මේ විශ්වවිද්‍යාලය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. 

යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිලිනොච්චි මණ්ඩපයේ ඉංජිනේරු, කෘෂිකර්ම හා තාක්‍ෂණ පීඨ දියුණු කිරීම සඳහා උතුරු සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට පියවර ගෙන තිබෙන බව කිව යුතුයි. 

යුද්ධය නිසා උතුරේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එය නැවත ගොඩනැගිය යුතුයි. 2015 දී බලයට පැමිණි අපේ ආණ්ඩුවේ පළමු වසර දෙක, තුන ගත වුණේ සංහිදියාව ඇති කරමින් ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීම සඳහායි. 

නමුත් දැන් ආර්ථික සංවර්ධනය කෙරෙහි අපේ අවධානය යොමු කර තිබෙනවා. 

පලාලි ගුවන් තොටුපොළ, කන්කසන්තුර වරාය:

පලාලි ගුවන් තොටුපොළ, කන්කසන්තුර වරාය මෙන්ම උතුරේ කර්මාන්ත ආරම්භ කරමින් පුළුල් සංවර්ධනයක් සිදු කිරීමට අප පියවරගෙන තිබෙනවා. උතුරේ මාර්ග පද්ධතිය දියුණු කිරීමත්, සංචාරක ව්‍යාපාරය හා කෘෂි කර්මාන්තය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර දියුණු කිරීම අපේ සංවර්ධන වැඩපිළිවෙළේ අරමුණයි. 

මේ වන විට මහනුවර සිට හම්බන්තොට දක්වා පුළුල් සංවර්ධන වැඩසටහනක් දියත් කර තිබෙනවා. ඒ යටතේ කර්මාන්ත කලාප, සංචාරක කලාප ඇතුළු තවත් වැඩසටහන් ගණනාවක් ඊට ඇතුළත් වෙනවා. ඒ වගේම රටේ අනෙකුත් ප්‍රදේශ සංවර්ධන කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. මේ වැඩකටයුතු කරන අතර උතුර ද අප අමතක කර නැති බව කිව යුතුයි. 

මේ සංවර්ධන වැඩ පිළිවෙළේ අවසානයේ අපේ ඉලක්කය වන්නේ පේදුරු තුඩුවේ සිට හම්බන්තොට දක්වා විශාල දියුණුවක් ඇති කිරීමයි. ''

එම අවස්ථාවට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පාර්ලිම්න්තු මන්ත්‍රිනී විජයකලා මහේස්වරන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් හා මහජන නියෝජිතයින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ නිලධාරින්, යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ආචාර්යවරුන් ප්‍රමුඛ නිලධාරීන් රැසක් ද සහභාගීවී සිටියහ. 




 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top