Sathosa

Aug 07, 2018

"රාජිතට හොඳ පාඩමක් උගන්නනවා" - නවීන් Featured

"රාජිත සේනාරත්න ඇමැතිවරයා වෛද්‍ය සභාවට අත තිබ්බොත් ජීවිතේට අමතක නොවන පාඩමක් උගන්වනවා. වෛද්‍ය සභාවට අත තියලා ගමනක් යන්න ඔහු හිතනවා නම් ඒ දවල් දකින හීනය දැකලා බලන්න කියලා පැහැදිලි අභියෝගයක් කරනවා" යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

"සෞඛ්‍ය ඇමැතිවරයා තමන් ඉන්න ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවට ද්‍රෝහිකම් කරනවා. රාජිත සේනාරත්නගේ ඉතිහාසය බලන්න. ඔහු ඉතිහාසය පුරාම ජයග්‍රහණය කරලා තියෙනවා. ඕනම ආකාරයේ කුමන්ත්‍රණයක් කරන්න දක්ෂයෙක්. මේ වෛද්‍ය සභාව විසුරුවා හරින්න උත්සාහ කරන්නේ 2020 මේ ආණ්ඩුව පෙරළලා. ආණ්ඩුව පෙරළුවේ තමා බව කියන්නද? කියලා අපි අහනවා" යැයි හෙතෙම කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (6දා) පැවැසීය.

මේ අතර වෛද්‍ය ආඥා පනතට පයින් ගහලා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට ඇමැතිවරයා කටයුතු කළහොත් නැවත දැනුම්දීමකින් තොරව වැඩ වර්ජනයක් ආරම්භ කරන බවත් එය සෞඛ්‍ය ඇමැතිවරයාට දැනුම් දී තිබෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අලුත්ගේ මහතා,

"සුවපතිල හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සම්මාන ලබන්නේ වෛද්‍ය සභාවේ මඟපෙන්වීම යටතේ වෛද්‍යවරු කටයුතු කරමින් සෞඛ්‍ය දර්ශක ඉහළ නැංවීම නිසා බව අවබෝධ කර නොගෙන රාජිත සේනාරත්න ඇමැතිවරයා කටයුතු කරනවා. රාගම වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිලන්ති ද සිල්වා වෛද්‍ය සභාව විසිරුවා හැරීමට දැඩි බලපෑම් කරමින් සිටිනවා. වෛද්‍ය සභාව විසුරුවා හරින්න කියා සෞඛ්‍ය ඇමැතිවරයාට අපි ලිපියක් යවා තිබෙනවා. මේ මහාචාර්යවරු ඇමැතිවරුන්ට වන්දිභට්ටකම් කරන්නේ තමන්ට ඉදිරියට යෑමට බව කියන්න ඕන"

"රාජිත සේනාරත්න ඇමැතිවරයා උත්සාහ කරන්නේ ජනාධිපතිත්, ආණ්ඩුවත්, රටත්, සෞඛ්‍යයත් විනාශ කරන්නයි. අපි මේ තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් කළා. එතුමා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි නිසා, වෛද්‍ය සභාව ගැන හොඳාකාරවම දන්නවා. සෞඛ්‍ය ඇමැතිවරයා ඔහු වටේ සිටින එන්.ජී.ඕ. නඩයට ඕනෑ අන්දමට වෛද්‍ය සභාව විසුරුවා හැරීමෙන් සිදුවන දේ අපි ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. රාජිත සේනාරත්න ඇමැතිවරයා මේ විනාශය කළහොත් ඉතිහාසයේ ප්‍රබලතම වෘත්තීය අරගලය කිරීම නතර කරන්න බැහැ" යැයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top