Pasidol

Sathosa

Aug 10, 2018

රටේ වායු දූෂිතම නගරය මහනුවර

රටේ තිබෙන නගරවලින් වායු දූෂිතම නගරය, කන්ද උඩරට මහනුවර නගරය බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කර සිටියේ, ශ‍්‍රී ලංකාවේ නාගරික ප‍්‍රදේශ තුළ දැනට පවතින තුරු ආවරණය ප‍්‍රමාණාත්මකව හා ගුණාත්මවක ඉහළ නැංවීම තුළින් නාගරික ප‍්‍රදේශයන් මුහුණ දෙන වායු දූෂණය, පරිසර උෂ්ණත්වය වැඩි වීම වැනි ගැටලු අවම කර සෙවන සහිත සුවදායී තිරසර නගර ඇතිකිරීම අරමුණු කර ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර "සහසක් තුරු" මිලියනයක් ශාක සිටුවීමේ වැඩසටහනට මහනුවරදී සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"අද මේ ලෝකය බරපතල පාරිසරික ප‍්‍රශ්නයකට මුහුණ දෙමින් සිටිනවා. එය ලෝකයේ හැමතැනකම අද දැක ගන්න පුළුවන්. අද යුරෝපයේ රටවල් බොහොමයක, ජපානය, කොරියාව මේ හැම රටකම අධික උෂ්ණත්වය නිසා මිනිසුන් මිය යන යුගයක් එළඹිලා තිබෙනවා. ජපානයේ පමණක් 200 කට අධික ප‍්‍රමාණයක් මහා වර්ෂාවලින් වගේම අධික උණුසුමින් මිය ගිහින් තිබෙනවා. ඒ වගේම කැනඩාව වැනි ඉතාමත් සීත රටවල පවා තාප සුළං නිසා විශාල පිරිසක් මිය යමින් සිටිනවා. මෙය පාලනය කරන්න බැරි තත්වයක් යැයි දැන් විද්‍යාඥයෝ අනුතුරු හඟවනවා. එම තත්ත්වය හමුවේ අපේ වායුගෝලයේ උණුසුම පාලනය කරන්න වගේම පිරිසිදු වායුව ආශ්වාස ප‍්‍රාශ්වාස කරන්න ගහකොළින් වන සේවය අපරිමිතයි".

"අපි මේක මහනුවරින් ආරම්භ කරන්න ප‍්‍රධානම හේතුව මහනුවර නගරයේ වායු දූෂණය. එය විද්‍යාත්මකවත් ඔප්පු වූ කාරණයක්. මේ රටේ තිබෙන නගරවලින් ඉතාමත්ම වායු දූෂිත නගරය කන්ද උඩරට අපේ මහනුවරයි. ඒ වගේම අපේ ඉන්දියාවේ නගර ගත්තහම අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මතවලින් ඔබ්බට ගිහින් විශාල දූෂණයකට සෑම නගරයක්ම ලක්වෙලා තිබෙනවා. කොළඹ නගරය යම් ප‍්‍රමාණයක බේරිලා තිබෙන්නේ මුහුදු සුළං නිසා. ඒ වගේම අපි 2008 දී නොයෙක් අයගේ බැණුම් මැද ඇති කරපු වාහනවල වායු විමෝචන ක්‍රියාවලිය නිසා".

"මෙය මහනුවරත් දියත් කිරීමෙන් අපට යම් ප‍්‍රමාණයකට මේ කාරණ කිහිපයක් පාලනය කරන්න පුළුවන්. එකක් අපිට ඔක්සිජන් ලැබෙනවා. හොඳින් වැඩුනු ගසකට 4 දෙනෙකුට ප‍්‍රමාණවත් ඔක්සිජන් දවසකට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම හොඳින් වැඩුනු ගසකට වසරකට මේ වායු ගෝලයේ තිබෙන දූෂිත කාබන් කිලෝග‍්‍රෑම් 12 ක් පමණ අවශෝෂණය කර ගන්න පුළුවන්. ඒ වගේම හොඳින් වැඩුණු ගසකින් හොඳ ජල වාෂ්ප සංයුතියක් ලබාදෙනවා මෙන්ම සෙවණක් ලබාදෙනවා. ඒ වගේම ජලය සංරක්‍ෂණය වීමද සිදුවෙනවා. මේ සියලු කරුණුත් සමග නෙතට හොඳ දසුනක් මේ තුරුවදුලූ සමග අපට ලැබෙනවා. ඒ වගේම කොන්ක‍්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීම නිසා ඇතිවන තාප දූපත් මේ මගින් පාලනය වෙනවා. මේ වගේ කාරණා ගණනාවක් නිසා තමයි නගරවල ගස් කොළන් සිටුවීම අපි ආරම්භ කළේ".

"ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය වසරේදී රටේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා හරිත මූලධර්ම, හරිත මාර්ගෝපදේශයන් නිකුත් කළා. ඒ අනුව ඒ ගොඩනැගිලිවල බල ශක්තිය නිපදවීම ගොඩනැගිලිවල අපජලය කළමනාකරණය, ඒ වගේම ගොඩනැගිලිවලට භාවිතා කරන අමුද්‍රව්‍ය මේ යනාදි සෑම එකක්ම තිරසර සංවර්ධනය සමග එකට යන දේවල් බවට අද අපි පරිවර්තනය කරගෙන යනවා. එම නිසා මේ වැදගත් පියවර අප තබන්නේ තවත් වැදගත් වැඩසටහනක් සමග.

"මේ වගේ ගස් සිටුවීමේ වැඩපිළිවෙලවල් බොහෝ දෙනෙක් දැක තිබෙනවා. ගස් කෝටිය, දෙකෝටිය, දශ ලක්‍ෂය සිටුවා තිබෙනවා. නමුත් මේ හැම ගහක්ම අපි යම් නිෂ්චිත ආකාරයකට ඒ අයව අපි රෙජිස්ටර් කරගෙන තිබෙනවා. ගස තිබෙන්නේ කොහේද කියා අපි දන්නවා. ගහේ වර්ධනය අපි සලකුණු කරනවා. ගහට අනතුරක් සිදුවනවාද නැද්ද යන්න වගකීම දරන්නෙක් සිටිනවා. ඒ අනුව මෙම ගස් සුරක්‍ෂිතව වැඩෙන බවට රක්ෂණාවරණයක් සමග තමයි අපි මේ පැල සිටුවන්නේ".

"ගසක් සිටුවනවාට වඩා වැදගත් දෙය එය රැක බලාගෙන නිෂ්චිත තත්වයකට පත් වෙනකන් ඒ ගහ ස්වයංව වැඩෙනකන් සතා සිව්පාවාගෙන් සහ වෙනත් අනුතුරු වලින් ආරක්‍ෂා කර ගැනීම පිළිබඳවත් නිෂ්චිත වැඩසටහනක් සමගයි මෙය සිදු කර තිබෙන්නේ. ඕනෙම කෙනෙකුට මේ සඳහා දායක විය හැකියි".

ඉදිරි කාලයේදී සෑම නිවාස සංකීර්ණයකම සිටින සෑම පවුලකටම අඩු ගණනේ එක ගසක් රැක බලා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කරන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top