Aug 11, 2018

අඟ මුවා මැරූ දෙදෙනාට දුන් දඬුවම (වීඩියෝ)

නීති විරෝධී ලෙස මෙරට නිපදවන ලද ගිනි අවියක් අටවා අඟ මුවෙකු මරා දැමූ බව කියන දෙදෙනෙකුට පුත්තලම මහේස්ත්‍රා හා අතිරේක දිසා විනිසුරු ලහිරු එන්.සිල්වා මහතා විසින් රුපියල් 60,000ක දඬ මුදලක් නියම කළේය.

එසේම සැකකරුවන් විසින් මරා දමා තිබූ අඟ මුවාගේ සිරුර විනාශ කිරීම සදහා වන ජීවී නිලධාරීන්ට බාර දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

මෙසේ දඩ නියම වූයේ මදුරන්කුලිය - උනාවේලිය පදිංචිකරුවෙකු වන බුලත්සිංහල ආරච්චිලාගේ විජේසිංහ සහ මහකුඹුක්කඩවල - සෙම්බුකුලිය පදිංචිකරුවෙකු වන අධිකාරි මුදියන්සේලාගේ චන්දන පද්මසිරි නම් දෙදෙනාටය.

මදුරන්කුලිය පොලිස් මුර පොලේ නිලධාරීන් විසින් ඉකුත් 10 වැනිදා දහවල් සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම දඩ මුදල නියම විය.

සංරක්ෂිත දර්ශන

මදුරන්කුලිය - මහකුඹුක්කඩවල මාර්ගයේ පිහිටි පොල් වත්තක වෙඩි තබා අනතුරුව පොළු වලින් පහර දී අඟ මුවෙකු ඝාතනය කර ඇති බවට මදුරන්කුලිය පොලිස් මුර පොලට ලැබුණු තොරතුරකට අනුව අදාල වැටලීම සිදු කර තිබිණි.

එහිදී ඝාතනය කරන ලද කිලෝ ග්රෑම් 64 ක් බර පිරිමි අඟ මුවෙකුව තම බාරයට ගත් පොලිස් නිලධාරීන් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත්තේය.

සැකකරුවන් දෙදෙනා ගෙන් එක් අයෙකු මුවා ඝාතනය කරන තිබූ පොල් වත්තේ මුරකරු වන අතර, අනෙක් සැකකරු යාබද පොල් වත්තේ මුරකරු බවද හෙළිවිය.

ඝාතනය කර තිබූ අඟ මුවාගේ අගක් අඩි 2 යි අඟල් 2 ක පමණ දිගින් යුක්ත වීම ද විශේෂිතය.

මොවුන් තමන් සේවය කළ පොල් වත්තට දිය සහ කෑම සොයා පැමිනෙන මුවන් ගිනි අවි අටවා ඝාතනය කර පසුව මස් කර අලවි කර ඇති පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී තිබිණි.

මදුරන්කුලිය පොලිස් මුර පොලේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්.රණවීර, පොලිස් කොස්තාපල්වරුන් වන 67607 පෙරේරා, 91051 දිසානායක යන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.

ජූඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top