Pasidol
Sathosa Ad Final Sinhala
Dec 24, 2016

රවිරාජ් ඝාතන නඩුවෙන් බුද්ධි අංශ නිලධාරීන් නිදහස් Featured

යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (24) අලූයම නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මෙම නියෝගය නිකුත් කළේ නඩුව විභාග කිරීම සඳහා පත්කළ විශේෂ ජූරි සභාවේ ඒකමතික තීරණය සැලකිල්ලට ගනිමිනි. මධ්‍යම රාත්‍රීය ආසන්න වන තෙක් නඩු විභාගය පැවතීම විශේෂ සිද්ධියකි.

නඩුවේ සාක්ෂි විමර්ශනය කිරීමේදී විත්තිකරුවන් නිවැරදිකරුවන් ලෙසට වන නිගමනයකට ඒකමතිකව එළඹි බව සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවේ සභාපතිවරයා මහාධිකරණයේදී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙම නඩුවේ පළමු විත්තිකරු දැනට මියගොස් ඇති බැවින් මෙම තීන්දුව ඔහුට අදාළ නොවන බව ප්‍රකාශ කෙරින.

අධිකරණය මගහරිමින් :

නඩුවේ පළමු සාක්ෂිකරු ලෙසට රජයේ සාක්ෂිකරුවෙකු වන ප්‍රීති විරාජ් මනම්පේරි නමැත්තා නම්කොට තිබූ අතර ඔහු ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස රාජකාරී කළ පුද්ගලයෙකි.

නඩුවේ විත්තිකරුවන් එම ඝාතනයට හවුල් වූ බවට රජයේ සාක්ෂිකරු අධිකරණයේදී සාක්ෂි ලබා දී තිබිණ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන චෝදනා 5ක් යටතේ චූදිතයින්ට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කර තිබිණ.

ඒ අතරින් නඩුවට පෙනී සිටියේ ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණී සෙනෙවිරත්න සහ ප්‍රදීප් චාමින්ද නමැති තිදෙනා පමණි. ඔවුන් නාවික හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරීන් වේ.

සෙසු චූදිතයින් තිදෙනා වන පලගසාමි සුරේෂ්, සිවකාන්තන් විවේකානන්දන් සහ රොයිස්ටන් ටුසේන් නමැති විත්තිකරුවන් අධිකරණය මගහරිමින් සිටි අතර ඔවුන් නොමැතිව නඩු විභාගය සිදුකෙරින.

එලෙස අධිකරණය මගහරිමින් සිටි විත්තිකරුවන් තිදෙනා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් වෙන් වූ කරුණා පාර්ශ්වයේ සාමාජිකයින් බව පැවසේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරා ඝාතනය කෙරුණේ 2006 වසරේ නොවැම්බර් මස 9 වෙනිදා නාරාහේන්පිට ප්‍රදේශයේදීය.

මෙම නඩුව අධිකරණ නිවාඩු කාලසීමාව ද නොතකමින් අඛණ්ඩව විභාගයට ගැනිණ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top