Aug 14, 2018

'රාජපක්ෂලා රජයේ ඉඩම් තමන්ට බෙදා ගත්තා' -සජිත්

කුලියට, බද්දට සහ මහගෙදර ජීවත් වන අනු පවුල් සඳහා දුසිම් ගණනින් ඉඩම් ලබා දෙමින් අද යහපාලන රජය අසරණ ජනතාවට සෙත සළසන නමුත්, පසුගිය පාලන සමයේදී දුසිම් ගණනින් මෙරට ඉඩම් ජනතාවට ලබා දෙනවා වෙනුවට ඒවා පාලකයින් විසින් තම පවුල්වලට හා ඥාති හිත මිතුරන්ට බෙදාගත් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

යහපාලන රජයේ නිවාස වැඩසටහන ගැරහීමටත්, එය කඩාකප්පල් කිරීමටත් විරුද්ධවාදීන් අද කටයුතු කළත් වත්මන් ජනාධිපති, අගමැති සහ තමන් රජයේ නිවාස සංවර්ධන වැඩසටහන නතර කරන්නේ උදා ගම්මාන 2,500 , උදා ගම්මාන 5,000 සහ උදා ගම්මාන 10,000 අවසන් කර සැමට සෙවණ ලබා දීමෙන් පසු බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

වත්මන් නිවාස සංවර්ධන වැඩසටහන හරහා අද රටේ ජනතාවට ප්‍රතිලාභ හිමි වෙමින් ඔවුන් කෝටිපතියන් බවට පත්වන බවත්, මෑත ඉතිහාසයේ ජනතාවට මෙතරම් ඉඩම් ප්‍රමාණයක් ලබාදෙමින් නිවාස ඉදිකර උදා ගම්මාන නිර්මාණය කළේ කුමන ආණ්ඩුවද යන ප්‍රශ්නයට හෘද සාක්ෂියට අනුව පිළිතුරු ලබාදීමට අද ජනතාවට කාලය එළඹ ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රමදාස මහතා මෙම අදහස් පළ කළේ ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ, සූරියවැව, වැදිවැව ප්රදේශයේ ඉදිවන “සඳහසගම”, “සහස්පත්ගම” හා “සිතුපියගම” යන උදාගම්මාන 3 ට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (14) දින සහභාගී වෙමිණි.

‘සඳහසගම’ සහ ‘සහස්පත්ගම’ උදා ගම්මාන දෙකහි නිවාස 25 බැගින් ඉදිවෙන අතර ‘සිතුපියගම’ උදා ගම්මානයේ නිවාස 28 ක් ඉදිකිරීමට නියමිතය.

‘සැමට සෙවණ උදා ගම්මාන’ වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවෙන 1006, 1007 හා 1008 වන ආදර්ශ ගම්මාන මේවා වේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top