Aug 16, 2018

'බස් වර්ජනය අසාර්ථකයි' - ගැමුණු කියයි

සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රී සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය අසාර්ථක බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

මේ වනවිට බොහෝ මාර්ගවල සුපුරුදු පරිදි බස් රථ ධාවනයේ යෙදෙන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසිය.

දඩ පත්‍ර ගාස්තු ඉහල දැමීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය ඊයේ මධ්‍යම රාත්‍රී සිට සේවාවලින් ඉවත්විය.

ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන අංශ රැසක සේවකයින් සිය වර්ජනයට සහය දීමට එකඟතාව පලකර ඇති බව ඔවුන් පවසයි.

සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය පෙන්වා දෙන්නේ දඩ පත්‍ර ගාස්තු ඉහල යාමත් සමඟ සිය රැකියාව සිදු කිරීමේ දැඩි අර්බුදයක් උද්ගතව ඇති බවයි.

මීට අමතරව තම සේවකයින්ට පවතින යටිතල පහසුකම් ගැටළු, වැටුප් ගැටළු සහ රැකියා සුරක්ෂිතභාවයේ පවතින ගැටළු ආදී කරුණු රැසක් මුල් කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රී සිට සේවයෙන් ඉවත් වීමට තීරණය කළ බව එම සංගමය පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top