Aug 16, 2018

ආර්ථිකය ශක්තිමත් කරන්න නව වැඩ පිළිවෙලක්

මෙරට පෞද්ගලික ව්‍යාපාරික අංශය, පොදු - පෞද්ගලික හවුල්කාරීත්වය සමග එක්ව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කරන බවත්, මෙය අප රටේ ආර්ථිකය සංවර්ධනයට හේතු වන බවත්, එම නිසාම අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට මේ සඳහා හවුල් වන ලෙසට දිරිමත් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළධ පැවති ආසියානූ ශාන්තිකර කලාපීය ව්‍යවසායකත්ව 2018 සම්මාන උළෙලට එක්වෙමිනි.

මෙම සම්මාන උළේලේදී ප‍්‍රමුඛ පෙළේ ව්‍යවසායකයින් රැසකට ව්‍යවසායකත්ව සම්මාන පිරිනැමුණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා,

"මගේ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජිත ආයතනය මේ වන විට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා මේ වන විට ඉතිහාසයේ පළමු වරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව ප‍්‍රතිපත්තියක් හඳුන්වා දී තිබෙනවා. අපගේ නෙඩා ආයතනය අප රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන්ම පෙනී සිටින රාජ්‍ය ආයතනයයි. එම නිසා ඔවුන් තම වගකීම ඉහළම මට්ටමින් ඉටු කරනවා. මෙම ප‍්‍රතිපත්තිය පුළුල් පරිසරයක් පුරා විහිදී පවතිනවා".

"එමගින් ඉහළ විභ්‍යතාවයකින් දියුණු කළ හැකි කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සමූහයක් අවට පරිසරය, සුදුසුම නවීන තාක්ෂණය, ව්‍යවසායකත්ව සංස්කෘතිය සහ නිපුණතා සංවර්ධනය, මූල්‍යමය ප‍්‍රවේශය, වෙළෙඳපොළ පහසුකම් සැලසීම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව සම්පත් කාර්යක්ෂමතා ගවේෂණය හා සංවර්ධනය ප‍්‍රතිපත්ති රාමුවක් ඔස්සේ සිදු කරනවා. මෙම ප‍්‍රතිපත්තිය ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික දැක්මට අනුව සකස් කරන ලද එකක්. ඔහුගේ දැක්ම වන්නේ දේශීය ව්‍යවසායකයින් අන්තර්ජාතික වෙළෙඳපොළ කරා රැගෙන යාමට මාර්ගයක් ඇති කිරීමයි. ඒ සඳහා රජය ඔවුන්ගේ නිෂ්පාදන මට්ටම හා තරගකාරීත්වය වැඩි දියුණු කිරීමට පියවර ගෙන තියෙනවා".

"අප පසුගිය වසරේදී ප‍්‍රථම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව ඉන්කියුබේටරය කුරුණෑගලදී විවෘත කරනු ලැබුවා. මේ නිසා මම අපගේ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සේවාවන්ගෙන් උපරිම ප‍්‍රයෝජනය ලබා ගන්නා ලෙසයි. එමගින් ඔබලාගේ ව්‍යාපාරයන් දියුණු කරගන්නා ලෙසත් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මම අද සම්මානයට පාත‍්‍ර වුණු අපගේ ව්‍යවසායකයින් සියලූ දෙනාට මම සුභ පතනවා" යැයි පැවසීය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top