'එල්ටීටීඊය සතුව තිබී අවි මා ළඟ ඇතැයි කීම අසත්‍යයක්' - ඇමැති රිෂාඩ් 'එල්ටීටීඊය සතුව තිබී අවි මා ළඟ ඇතැයි කීම අසත්‍යයක්' - ඇමැති රිෂාඩ්
Aug 22, 2018

යළි ජාතිවාදය අවුලවන අදිසි හස්තයක් ගැන ඇමැති රිෂාඩ්ට සැකයක් !

යුද සමයේදී එල්ටීටීඊ සාමාජිකයන් සතුව තිබී පසුව අතුරුදන් වූ බව කියන අවි ආයුධවලින් කොටසක් රජයේ කැබිනට් අමාත්‍යවරයකු වන තමා සතුව ඇති බව පවසමින් පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් යැයි කියන පිරිසක් මාධ්‍යයට කර ඇත්තේ පදනම් විරහිත ප්‍රකාශයක් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා එහි සත්‍ය අසත්‍යතාව රටට හෙළි කරන ලෙසද අමාත්‍යවරයා රජයෙන් ඉල්ලා සිටී.

පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් බව කියන කණ්ඩායමක් පසුගිය අගෝස්තු දහඅට වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබුණේ පසුගිය යුද සමයේ ඔවුන් විසින් භාවිත කළ අවි ආයුධ පන්දහසක් (5,000) පමණ අතුරුදන් වී ඇති බවත් ඒවා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා තවත් රාජ්‍ය අමාත්‍යවරයකු සතුව ඇති බවත්ය.

ජාතිවාදය රට තුළ ඇති කිරීමේ සුදානමක් :

වර්තමාන යහපාලන රජය යටතේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව සහයෝගයෙන් සිටින බවත් මෙම ප්‍රකාශය පෞද්ගලිකව තමා වෙත ඉදිරිපත් වූ චෝදනාවක් වුවද මේ තුළින් මෙරට ජීවත්වන මුස්ලිම් ජනතාව දෙස සහෝදර සිංහල ජනතාවට සැකය, වෛරය ඇතිකරවා ඒ තුළින් ජාතිවාදය රට තුළ ඇති කිරීමේ අවස්ථාවක් ගොඩනැඟිය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම තත්ත්වය නතර කිරීමට මොවුන්ගේ මෙම ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසන්නේ මෙම පුවත් සාකච්ඡාව හදිසියේම පැවැත්වීම ඉතා සැක සහිත බවයි.

මෙම සිදුවීම් ජාලය පිටුපස අදිසි හස්තයක් ඇත්දැයි තමා සැක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top