Aug 28, 2018

'ප්‍රතිකාර ප්‍රමාදයෙන් බිළිඳා මියගියා' :ඥාතීන් වියරු වෙයි Featured

මහනුවර, ගලහ ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි වයස අවුරුදු එකහමාරක දෙල්තොට ප්‍රදේශයේ දරුවෙකු අද(28දා) ජීවිතක්ෂයට පත්ව තිබේ. වෛද්‍යවරුන් දරුවාට ප්‍රතිකාර කිරීමට ප්‍රමාදවීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය උදා වූ බවට මියගිය දරුවාගේ ඥාතීන් චෝදනා කරයි.

වැළදී තිබූ උණ රෝගයක් සදහා ප්‍රතිකාර ලබාගැනීමට දරුවා රෝහලට ඇතුළත් කර ඇත.

නමුත් රෝහලට ඇතුළත්වී පැය දෙකක පමණ කාලයක් ගතවන තෙක් දරුවා පිළිබදව කිසිදු වෛද්‍යවරයෙකු අවධානය යොමු නොකළ බවට දරුවාගේ ඥාතීන් චෝදනා කරයි. කෙසේ වෙතත් දරුවා මියයාමෙන් පසුව රෝහල අවට උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබේ.

මියගිය දරුවාගේ ඥාතීන් රෝහලේ සිටින වෛද්‍යවරුන්ට පිටතට ඒමට ඉඩනොදී රෝහල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරී ඇත. ඔවුන් එල්ල කළ ගල් මුල් ප‍්‍රහාරවලින් රෝහල් කාර්ය මණ්ඩලයේ වාහනවලට ද හානි සිදුව ඇත. මේ නිසා රෝහල අවට ආරක්ෂාව තරකෙරුණ අතර පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ද එහි කැදවා තිබුණි.

නොසන්සුන්කාරී පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

දරුවා මියයාම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ මහත්මිය සදහන් කරන්නේ සිද්ධිය පිළිබද හෙට දිනයේදී පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top