Sep 07, 2018

බැසිල් ජනාධිපති අපේක්ෂකයා කරන්නැයි මහින්දට බලපෑම් ! Featured

ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණයක් ගැන සිතන්නේ නම්, බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස වහාම ප්‍රකාශයට පත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කිහිප දෙනෙකුම ඊයේ (06) දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉල්ලීමක් කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

පෙරේදා (05) කොළඹ පැවති ඒකාබද්ධයේ උද්ඝෝෂණයෙදී සිදුවූ දුර්වලතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් එම ඉල්ලීම කර ඇතැයි පැවසේ.

‘ජනබලය කොළඹට’ විරෝධතාවයට අති විශාල ජනකායක් සහභාගී කරවා ගැනීමට නාමල් රාජපක්ෂ මහතාට හැකිවූ බව එහිදී පවසා ඇති බව මහින්ද රාජපක්‍ෂ මහතා, මෙම උද්ඝෝෂණය සාර්ථක කරගැනීමට ඒකාබද්ධයේ ඇතැම් නායකයින් ගෙන් හා බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතුන් ගෙන් එතරම් සහයක් නොලැබුන බවට චෝදනා කර තිබේ.

විමල් විරවංශ මහතා විසින් පවත්වා ගෙන යන වෙබ් අඩවියකින් හා ඔවුන්ට හිතවත් සමාජ මාධ්‍ය හරහා මේවනවිට නාමල් රාජපක්ෂ මහතාට ඉතා පහත ආකාරයෙන් පහරදෙමින් සිටින බව මහින්ද රාජපක්ෂ මහතා එහිදී කනස්සල්ලෙන් යුතුව ප්‍රකාශකර ඇත.

කෙසේවුවද බලාපොරොත්තු වූ ආකාරයටම කොළඹට විශාල පිරිසක් පැමිණි බවත්, මෙපමණ පිරිසක්‌ පැමිණෙනු ඇතැයි ආණ්‌ඩුව පවා නොසිතු බවත්, දැන් ඒ සෙනග දැක ආණ්ඩුව බියවී ඇති බවත් පවසා ඇති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට කලබල විය යුතු නැතැයි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 බැසිල්ගේ අඩුව අතිශෝක්තියට !

 මහින්දගේ සාර්ථකම දේශපාලන යාන්ත්‍රණය වූ බැසිල් රාජපක්ෂ මහතා 05 දා පැවති ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට නායකත්වය දුන්නේ නම්, එය සාර්ථක කර ගැනීමට හැකියාව තිබු බවට එකාබද්ධයට හිතවත් සමාජ මාධ්‍ය මේවනවිට පුළුල් ප්‍රචාරයක් ගෙන යමින් සිටිති.

ඇතැම් ජාතික තලයේ පුවත්පත් පවා එම කාරණය අවධාරණය කරමින් සිටියි.

මාධ්‍යවේදී සංජය නල්ලපෙරුම මහතා විසින් ලිය ඇති දේශපාලන සටහනක මෙසේ සඳහන් වේ.

''දැන් නාමල් ඒකාබද්ධයේ බැස්ම මහින්දට කපා දී අවසන්ය. දැන් ඒකාබද්ධයට පීක් එකක් හැදීමට සිහිනයක් බවට පත කළේ නාමල්ගේ මේ විරෝධතාවයමය.

බුද්ධි අංශ වාර්තා ඉදිරිපත් කර තිබුණේ කොළඹට හැත්තෑ දහක් පමණ පැමිණි බවය. එහෙත් ලේක් හවුස් වටරවුමේ රැදී සිටි පිරිස තිස් දහසක් පමණ වෙතැයි ඔවුන් තක්සේරු කර තිබුණි.

ලක්ෂ ගණනක් කොළඹට ගෙන්වන විරෝධවය දස දහස් ගණනට බැස්සා පමණක් නොව අවසානයේදී ඉතිරි වූයේ දහසක දෙදහසක පමණ පිරිසක් පමණි.

ඒ ජන බලය කොළඹට අල වැඩක් බවට පත් කරමිනි.

දැන් නාමල් මහින්ද නැවත වරක් විනාශ කර අවසන්ය. එහෙත් එක් අයෙක් මෙයින් ජයගෙන තිබේ. ඒ බැසිල්ය. බැසිල්ගේ සංවිධාන ශක්තිය නැතිනම් වැඩ අල වන බව බැසිල් පෙන්වා ඇති නිසාය.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top