OPEN

#

OPEN

#

Sep 07, 2018

''ජනබලය දැක ආණ්ඩුව බයිලා කියනවා'' - මහින්ද

‘ජනබලය කොළඹට’ විරෝධතාවට එක්වූ අති විශාල ජනකාය පිළිබඳව යහපාලන ආණ්ඩුව දැන් එක එක බයිලා කියන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

'' ඒකාබද්ධ විපක්‍ෂයට හිතවත් මෙම පිරිස අපි බලාපොරොත්තු වූ ආකාරයටම කොළඹට පැමිණියා. මෙපමණ පිරිසක්‌ පැමිණෙනු ඇතැයි ආණ්‌ඩුව හිතුවේ නැහැ. අපි ප්‍රකාශ කළ පරිදිම මේ සෙනඟ ගෙනැවිත් යහපාලන ආණ්‌ඩුවට පෙන්නුවා. දැන් ඒ ගොල්ලෝ මේ සෙනග දැකලා එක එක බයිලා කියනවා. සැබෑ තත්ත්වය රටේ ජනතාව අවබෝධ කරගෙන ඉවරයි.'' යනුවෙන් ඔහු සඳහන් කළේය.

 ගිනස් වාර්තා පොතට එක්වන උද්ඝෝෂණයක් - දුමින්ද කියයි

 කෙසේවුවද, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක වාරිමාර්ග හා ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා පවසන්නේ, ඒකාබද්ධ විපක්‍ෂයේ කොළඹ උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහය ඉතිහාසයේ කොළඹ නගරය තුළ පැවැති අසාර්ථකම උද්ඝෝෂණය ලෙස ගිනස් වාර්තා පොතට එක්වන බවයි.

''මම අහනවා මහින්ද රාජපක්‍ෂ මහත්මයා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ගෙන් කොළඹ වටකරලා ආණ්‌ඩුව පෙරළුව ද ?'' කියලා යෑයි ද ඇමැතිවරයා ප්‍රශ්න කළේය.

ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව කොළඹට ගෙනල්ලා ආණ්‌ඩුව පෙරළනවා කියලා කයිවාරු ගැසූ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු නායකයන්ට ගෙදර යන්න වුණේ හිස්‌ අතින් බවත් තවමත් මේ රටේ තිබෙන්නේ යහපාලන ආණ්‌ඩුව බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

ඒකාබද්ධ උද්ඝෝෂණය කොළඹ වට කිරීමේ අසාර්ථක උද්ඝෝෂණයක්‌, පොදුජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්‍ෂයේ ගමනක අවසානය ආරම්භ වූ බවත් පවුල්වාදයට යළි මේ රටේ ඉඩක්‌ නැති බවත් ඇමැති දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.

 (දිවයින)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top