Pasidol

Sathosa

Sep 08, 2018

විජේවීරගේ දිවි නසා ගත් ‍දොස්තර මස්සිනාගේ පැටිකිරිය !

දොස්තර සුබාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පසුගිය කාලයේ වරින් වර මෙරට මාධ්‍යවල පුවත් මැවූ ඉතා සංවේදී අපූර්වත්වයෙන් යුතු මිනිසෙකි. එහෙත් ඉකුත් වසර දෙකක පමණ කාලය තුළ ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අසන්නට නොලැබිණි. දැන් නැවතත් වෛද්‍ය චන්ද්‍ර ප්‍රනාන්දු ගැන කතා කරන්නේ ඔහුගේ අකල් මරණයත් සමඟය. ඔහුගේ ඥාති හිතවතුන්ට සිතන්නට බොහෝ දේ ඉතිරි කරමින් ඔහු දිවි හානි කරගෙන තිබේ.

දොස්තර චන්ද්‍ර මෙරට බොහෝ දෙනා හඳුනන්නේ ඔහු රෝහණ විජේවීර සහෝදරයාගේ මස්සිනා වීම නිසාය. විජේවීර විවාහ වී සිටියේ චන්ද්‍රගේ බාල නැඟණිය ශ්‍රී මතී චිත්‍රාංගනී සමඟය. ඔවුන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් හය දෙනකි. මොරටුව විල්ලෝරා වත්තේ සැමුවෙල් වික්ටර් ප්‍රනාන්දු පියා වූ අතර එව්ලින් චාලට් ප්‍රනාන්දු මව වූවාය.

පවුලේ වැඩිමලා වූයේ මෙරට කීර්තිමත් ගුරු සංගම් නායකයකු වූ එච්.එන්. ප්‍රනාන්දුය. පවුලේ දෙවැන්නා චන්ද්‍ර ප්‍රනාන්දුය. තුන්වැන්නා ශාන්තිලාල් තිලක් ප්‍රනාන්දුය. සිවුවැන්නා වූ සහෝදරිය ශිරන්ති මල්ලිකා ප්‍රනාන්දුය. සරත් සුසන්තා ප්‍රනාන්දු පවුලේ පස්වැන්නාය. හය වැන්නා වූ චිත්‍රාංගනී පවුලේ බාල සහෝදරිය වූවාය.

පවුලේ සියල්ලන්ම හොඳ අධ්‍යාපන පසුබිමක් ඇති සමාජයට වැඩදායී පුද්ගලයන්ය. පියා විදුහල්පතිවරයකු වීම ඊට බලපාන්නට ඇත. ගුරු සංගම් නායකයකු ලෙස ගුරු අයිතීන් දිනා දීමට සටන් කළ එච්.එන්. එම අකුරු දෙක කී පමණින්ම ගුරුවරු හඳුනන කම්කරු පන්ති සටන් ව්‍යාපාරයන්හි පෙරමුණ ගත් නායකයෙකි.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ චන්ද්‍ර කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධි ලබා රත්නපුර මහ රෝහලේ පළමු පත්වීම ලැබීය.

 කැරැල්ලට දායක වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට:

 ලාංකේය සමාජය යහපත් ලෙස වෙනස් කළ යුතුය යන අධිෂ්ඨානයෙන් ක්‍රියාකළ එච්.එන්. සහ චන්ද්‍ර දෙදෙනාම 1971 කැරැල්ලට දායක වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතවූවන්ය.

සිර ගෙදරින් එළියට පැමිණි එච්.එන්. ගුරු වෘත්තියෙන් නිදහස්ව ගුරු සංගම් ව්‍යාපාරයට පූර්ණ කාලීනව එක් වූ අතර චන්ද්‍ර පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කළේය. ගම්පහ නගරයේ පොලිස් ස්ථානය ආසන්නයේ වූ ‍ෙදාස්තර චන්ද්‍ර ප්‍රනාන්දු වෛද්‍ය මධ්‍යස්ථානය 70, 80 දශකවල ඉතා ප්‍රකට රෝහලකි.

රෝහණ විජේවීර ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස ලබා නැවත ජනතා විමුක්ති පෙරමුණ ගොඩනඟන විට චන්ද්‍ර ප්‍රනාන්දු ජවිපෙ හිතවතකු ලෙසත් ප්‍රබල ආධාරකරුවකු ලෙසත් ඉදිරියට ආවේය. ඔහු සිය වෛද්‍ය මධ්‍යස්ථානයේ ලොකු කොටසක් ජවිපෙ කටයුතුවලට වෙන්කර දුන්නා පමණක් නොව ගම්පහ බැන්ඩියමුල්ල ලංගම ඩිපෝව ආසන්නයේ ඔහු ඉදිකළ දෙමහල් මන්දිරයද පක්ෂයට පරිත්‍යාග කළේය.

ජවිපෙ පක්ෂයේ පාසල හා පුස්තකාලය පවත්වනු ලැබුවේ එම ගොඩනැඟිල්ලේය. නමුත් චන්ද්‍ර කිසි කලෙක ජවිපෙ සාමාජිකයකු වූයේ නැත. ඔහු අවශ්‍ය හැමවිටම නොඅලස්ව මුදලින් ආධාර කළ අතර කඩිනමින් සමාජවාදී ශ්‍රී ලංකාවක් දැකීමේ පිපාසයකින් පෙළෙමින් සිටියේය.

 නැඟණිය විජේවීරට යෝජනා කළේ චන්ද්‍ර :

 විජේවීර සහෝදරයා පක්ෂ කාර්යාලවල කටුක තත්ත්වයන් තුළ වෙහෙස නොබලා කටයුතු කරද්දී ඔහුගේ ලෙඩ, දුක්, සැප ගැන සොයා බලන්නට විවාහ විය යුතු යැයි සාකච්ඡා වෙද්දී සිය නැඟණිය යෝජනා කළේ චන්ද්‍ර බවත් ඔහු එම අදහස ඉතා දැඩිව ඉදිරිපත් කළ බවත් එම බලකිරීම නිසාම තමා විජේවීර සමඟ විවාහයට කැමැත්ත දුන් බවත් චිත්‍රාංගනී වරෙක පවසා තිබිණි. නැඟණියගේ විවාහයෙන් පසුව චන්ද්‍ර දිගටම ඇගේ පවුලේ අවශ්‍යතා සොයා බලමින් පිහිට වූයේය.

‍ෙදාස්තර චන්ද්‍ර ප්‍රනාන්දුගේ ඇවතුම් පැවැතුම් ජවිපෙ ඇතැම් අයගේ නොසතුටටද එකල හේතු විය. ඔහු හැමවිටම පාවිච්චි කළේ බෙන්ස් වර්ගයේ මෝටර් රථයකි. නිතර නිතර බෙන්ස් රථ මිලට ගනිමින් මෝටර් රථ මාරු කළේය. ඉතා දුර බැහැර නගරවල පවා විජේවීර ජනතාව අමතන රැස්වීම් පැවැත්වෙන විට ඒවා සොයා ගොස් සවන් දුන්නේය.

වරක් යාපනේ වීරසිංහම් පිටියේ පැවැති රැලියේදී ගල් පහරක් වැදී විජේවීරගේ නළලින් ලේ ගලන විට චන්ද්‍ර සෙනඟ අතරින් හදිසියේ මතු වී තුවාලයට බේත් කිරීම කාගේත් විමතියට හේතුවිය. යාපනේ රැස්වීමේදී අනතුරක් වේදෝ යන සැකය නිසා චන්ද්‍ර රහසේම පැමිණ රැස්වීම් භූමියේ සිට ඇත.

 88- 89 ධවල භීෂණය :

 1983දී ජවිපෙ තහනම් කිරීම මේ පවුලේ සියල්ලෝම මහා ඛේදවාචකයක මුවවිටට තල්ලු කරන්නක් වූයේය.

ජවිපෙ යටිබිම්ගත දේශපාලනයට තල්ලුවීමත් සමඟ ධවල භීෂණය විජේවීර ලුහුබඳින්නට වූයේය. ‍ෙදාස්තර චන්ද්‍ර ප්‍රනාන්දු අවස්ථා කීපයකම පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඔහු නොබියව ඒ සෑම අවස්ථාවකටම මුහුණ දුන්නේය. එහෙත් ඔහු රිමාන්ඩ් භාරයේ සිටියදී සියලු වෘත්තීය ව්‍යාපාර බිඳවැටිණි. 89 වසර උදා වූයේ මරණය සහ විනාශය සමඟය. රට විසාලා නුවරක් බවට පත්විය.

චන්ද්‍ර පක්ෂයට දුන් දෙමහල් මන්දිරය රජයේ හමුදා විසින් ගිනිතබා තිබුණේ තරුණයන් ගණනාවකගේ සිරුරුද සමඟිනි. 89 නොවැම්බරයේ ඛේදවාචක වැලකට ඔහු මුහුණදුන්නේය.

ඔහුගේ මල්ලී සරත් සුසන්ත ප්‍රනාන්දු පදිංචිව සිටියේ එංගලන්තයේය. ඔහු චිත්‍රාංගනී නංගීට හැකි පමණින් උදවු කළේය. රෝහණ විජේවීර උලපනේදී අත්අඩංගුවට ගන්නා විට සරත් ලංකාවට පැමිණ සිටියේය. ඔහු වහාම නංගීට සහ දරුවන්ට කුමක් වී දැයි සොයන්නට කොළඹ පැමිණියේය.

ඔවුන් ගැන සොයන්නට තංගල්ලේ සිට පැමිණි විජේවීරගේ මල්ලී ආනන්දත් චිත්‍රාංගනීගේ අයියා සරත් සහ ඔවුන්ගේ ඥාති සහෝදරයකුත් ලුනාව ප්‍රදේශයේ ඥාති නිවෙසකදී ආරක්ෂක අංශ විසින් පැහැරගෙන යන ලදුව සදහටම අතුරුදන් විය.

විජේවීර අත්අඩංගුවේදී ඝාතනය කළ බව පසුදින අසන්නට ලැබිණි. ඒ සමඟ නැඟණිය සහ දරුවන් හමුදා කඳවුරේ රඳවන ලද බවද වාර්තා විය. චන්ද්‍ර ජවිපෙ දේශපාලනය නොකළද මරණයෙන් බේරී එංගලන්තයට ගියේය. මේ මහා ඛේදවාචකය විසින් ඔහුගේ මනස කුඩු පට්ටම් කර දමා තිබිණි.

 ඔහු මුහුණ දුන් දරාගත නොහැකි දුක්ඛ දෝමනස්සයන්:

 බොහෝ දෙනා උපහාසයෙන් කතා කරන්නේ පීඩාවට පත් චන්ද්‍ර ප්‍රනාන්දු නම් යහපත් මිනිසා ඉනික්බිතිව කළ කී දෑය. එංගලන්තයේ වෛද්‍යවරයකු ලෙස සේවය කළද ඔහු හිතු අඩියේ ලංකාවට පැමිණියේය. නොයෙක් ආයතනවලට ගොඩවැදී ගැටුම් ඇති කර ගත්තේය. කිසිවකුට අවනත නොවී කේ‍රා්ධයෙන් හැසිරුණේය.

විජේවීරගේ මස්සිනා බව මිස ඔහු මුහුණ දුන් දරාගත නොහැකි දුක්ඛ දෝමනස්සයන් කිසිවකු සිහිපත් කළේ නැත. අවස්ථා ගණනාවකදී ඔහුට සිරබත් කන්නට සිදුවිය. වසර දෙකකට පමණ පෙර ඔහු සම්පූර්ණ නිහඬ මිනිසකු බවට පත්විය.

සමාජවාදී ලංකාවක් බිහි කිරීමේ අරමුණින් කළ කලහය නතර කළේය. වනවාසල පාරමිතා වැඩිහිටි නිවාසයේ නේවාසිකයකු වී පොත පත කියවමින් හුදෙකලා ජීවිතයක් ගත කළේය. සාමකාමී ඇවතුම් පැවතුම් ඇතිව නිවාසයේ අනෙකුත් වැඩිහිටියන්ට වෛද්‍ය ප්‍රතිකාර කළේය. කතා කිරීම සම්පූර්ණයෙන් නතර කොට දුරකථනයටද සමු දුන්නේය.

ඔහුගේ ජීවිත පොතේ අවසන් පරිච්ඡේදයේ අවසන් පිටුව දක්වා ඔහු පැමිණ සිටින්නට ඇත. සියලු බැඳීම්වල නිමාව කරා එළැඹෙන්නට ඇත. ජීවිත කතාවේ තවත් පරිච්ඡේදයක් ලිවීම අරඹන්නට ‍ෙදාස්තර චන්ද්‍ර ප්‍රනාන්දුට තවත් කිසිදු වුවමනාවක් තිබී නැත.

විදේශගතව සිටින පුත්‍රයා ඔහු ඇමතූ විට එවැන්නකු නොදන්නා බව පවසා ඔහු දුරකථනය පසෙක තැබුවේය. ජීවිත පොත වසා තැබූ ඔහු අඳුරේම ගොස් දුම්රිය පීල්ල මත හිස තබා සාක්ෂාත් කරගත නොහුණු ප්‍රාර්ථනා සහිත ජීවිතයට පසුගිය 5 වන දා සමුදුන්නේය.

(උදේනි සමන් කුමාර - උපුටා ගැනීම මව්බිම)

සබැඳි පුවත් :

විජේවීරගේ මස්සිනා දිවි නසා ගනී : අවසන් කටයුතු අද

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top