Sep 09, 2018

'ජනබලය' ඇණගත් නිසා ආණ්ඩුව 'පිස්සු කෙලීදැයි' සැකයක් !

ආණ්ඩු බලය අතට ගන්නා බවට වහසි බස් දොඩමින් මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කරගෙන කොළඹ පැමිණි ජනකායට ඔවුන් කඳවුරු ලා සිටි භුමියේ පිහිටි ලේක්හවුස් ආයතනය හෝ අත්පත් කරගැනීමට නොහැකිවීම ජනබල උද්ඝෝෂණයේ අසාර්ථක භාවය මැනවින් පෙන්නුම් කරන්නක් බව නව සමසමාජ නායකයා පවසයි.

වීදියේ ජන අරගල සම්බන්ධයෙන් අත්දැකීම් බහුල ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා, ජාත්‍යන්තර උදාහරණද සහිතව පෙන්වා දෙන්නේ නගරයේ වැඩකරන ජනතාවගේ සහයෝගයෙන් තොරව කිසිදු විරෝධතාවකට තම අරමුණු ඉටු කරගත නොහැකි බවයි.

ලක්ෂ සංඛ්‍යාත ජනකායක් “ජනබලය කොළඹට” සඳහා පැමිණි බවට රාජපක්ෂ හිතවාදීන් කරන ප්‍රකාශ වල කිසිදු සත්‍යයක් නැති බව කී ඔහු උපරිම වශයෙන් සහභාගි වූ පිරිස 86,000 ක් පමණ වන බවට විද්‍යාත්මකව විශ්ලේෂණය කර ඇති බව පැවසීය.

“නගරයේ දැවෙන ප්‍රශ්න කතා නොකර ජාතිවාදය අවුස්සන්න  ගියොත් නගරයේ ඉන්න ජනතාවගේ සහාය ලබා ගන්න බෑ,” යි ආචාර්ය වික්‍රමබාහු මහතා කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

“ගැටුමකින් තොර ලංකාවේ පළමු හර්තාලය” ලෙස “ජනබලය කොළඹට” හැඳින්වූ නසසප නායකයා එහි අසාර්ථකත්වය මගින් ආණ්ඩුව ශක්තිමත් වීම නිසා ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් බලපෑම් කිරීමේ හැකියාව දුර්වල වී තිබෙන බවට බිය පල කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ජාතිවාදී බලවේග තම දුර්වලතාව ප්‍රදර්ශනය කර තිබෙන අවස්ථාවක බලය බෙදන ව්‍යවස්ථාවක් ගෙන ඒම කඩිනම් කරන ලෙස ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ආණ්ඩුවට බල කර සිටී.



(radiogagana)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top