nsb
Sathosa

Sep 09, 2018

විජේවීර ඝාතනය ඇසින් දුටු සාරානන්ද හාමුදුරුවෝ 

මේ දිනවල විජේවීර කතා වස්තුව සමාජයේ කටගැස්ම බවට පත්ව ඇත්තේ ඔහුගේ බිරිඳ චිත්‍රාංගනී මහත්මිය කියන අපූරු කතාවත් සමඟය. ඒ රෝහණ විජේවීර තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇය කළ ඉල්ලීමත් සමඟය.

විජේවීරගේ ප්‍රාණය නිරුද්ධ සිරුර නොදුටු  චිත්‍රාංගනීට සහ දූ දරුවන්ට ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැකයක් තිබීම සාධාරණය. එහෙත් බොරැල්ල කනත්තේදී විජේවීර ඝාතනය කළ බවට ඇසින් දුටු සාක්‍ෂි කිහිපයකි. ඒ සාක්‍ෂි අතර විජේවීරගේ සිරුර බොරැුල්ල කනත්තේ ආදාහනාගාරයට දමන අවස්ථාවේ එහි භාරකරු ලෙස සිටි පුද්ගලයා කියන කතාව චිත්‍රාංගනී විජේවීරගේ සැකය දුරුකර ගැනීමට හොඳම සාක්‍ෂියකි. 

එහෙයින් චිත්‍රාංගනී, විජේවීර මැරිලා නෑ කියන විට, අපි එවකට බොරැල්ල කනත්තේ පාලකයා ලෙස කටයුතු කළ ගුණතිලක සොයාගෙන ගියෙමු. එහෙත් ජීවිතයේ සැඳෑසමය ගත කරන සුසාන භූමි පාලකවරයා අපට මුණගැසීමට නොහැකි විය. ඒ වෙනුවට අපට හමුවූයේ සමාජයත්, ජීවිතයත් දෙකම කෙරෙහි ඇති වූ දැඩි කලකිරීම නිසා අරහත් ධජය පොරවාගත් භික්‍ෂුන් වහන්සේ නමකි. දකුණු පළාතේ නිසල වන සෙනසුනක වැඩසිටින ඇතුල්කෝට්ටේ සාරානන්ද හාමුදුරුවෝය.

36522561

බොරැල්ල කනත්ත 

‘‘මේ ශරීරය කියන්නේ මොකක්ද කියන එක මම හොඳට තේරුම් ගත්තා. මම ජීවිතයෙන් අඩක්ම මරණත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. බොහෝ දිනවල දැක්කේ මළ මිනී වැළලෙන හැටි. මිනී පිළිස්සෙන හැටි. ආශ්වාස කළේ මිනී අළු වී ඉහළට නඟින දුම. සත්තු හාරපු මිනී වළවල්වලින් හමන කුණු ගඳ. පාළු මූසල සොහොන් බිම්වල ? පහන් කරපු දින අනන්තයි.

 බල්ලො, බළල්ලූ ගාණට හැඩි දැඩි තරුණයන්ට වෙඩි තියලා ඝාතනය කරනවා මම දැකලා තියෙනවා. පණ අදින කොල්ලන් ටයර් සෑයට දාලා පුච්චනවා දැකලා තියෙනවා. මගේ දෑස් ඉදිරිපිට කැරලි නායකයෝ පිච්චුණා. ජේ.වී.පී නායක රෝහණ විජේවීර මහත්තයා ආදාහනාගාරයට දාලා පිච්චුවේ මගේ දෑස් ඉදිරිපිට. 

ඒ ඝාතනය මගේ මතකයෙන් ඈත් කරන්න ගොඩක් මහන්සි ගන්නවා. එදා ඒ සිදුවීම් පෙළ තවමත් මගේ මනසේ හොල්මන් කරනවා. විජේවීර එහෙම මැරෙන්න ඕනෑ පුද්ගලයෙක් නෙමෙයි. හොඳ බුද්ධිමත් මිනිහෙක්. නිර්ධන පන්තිය වෙනුවෙන් කතා කරපු නායකයෙක්. එහෙම මනුස්සයෙක් මරපු එක මහ අපරාධයක්...’’ පුංචි කුටි සෙනසුනක සිමෙන්ති සයනාසනය මත හිඳ ගත් සාරානන්ද හාමුදුරුවෝ අනිත්‍යය මෙනෙහි කරමින් පැවිදි වන්නට පෙර ගත කළ ගිහි ජීවිතයේ අඳුරු මතකය ආවර්ජනය කළහ. මේ උන්වහන්සේගේ කතාව සමඟ කැටි වූ අපේ කතාවය.
sarananda himi

''විජේවීර එහෙම මැරෙන්න ඕනෑ පුද්ගලයෙක් නෙමෙයි. හොඳ බුද්ධිමත් මිනිහෙක්. නිර්ධන පන්තිය වෙනුවෙන් කතා කරපු නායකයෙක්. එහෙම මනුස්සයෙක් මරපු එක මහ අපරාධයක්...’’ - ඇතුල්කෝට්ටේ සාරානන්ද හිමි

ඇතුල්කෝට්ටේ සාරානන්ද හිමි පැවිදි ජීවිතයට ඇතුළු වන්නේ 2003 වර්ෂයේ මාර්තු විසිහත් වැනිදාය. උන්වහන්සේ ගිහි ජීවිතයේදී දරුවන් පස්දෙනකුගේ පියෙකි. ගුණතිලක නම් වූ ඔහුගේ රැකියාව වූයේ සුසාන භූමි පාලකවරයෙක් ලෙස රාජකාරි කිරීමය. මෙරට සුසාන භූමි කිහිපයකම පාලකවරයා ලෙස රාජකාරි කටයුතු සිදු කළ ගුණතිලක බොහෝ කාලයක් සේවය කර ඇත්තේ බොරැල්ල කනත්තේය. 

එදවස භීෂණයේ ගිනිදැල් රට පුරා බුර, බුරා නැෙඟමින් තිබූ අඳුරු අවධියකි. දවස ආලෝකවත් කළ හිරු සෙමෙන් අවරට බැස ගියේ තවත් අඳුරු මූසල හැන්දෑවකට ඇරයුම් කරමිනි. ගුණතිලක බොරැුල්ල කනත්තේ කාර්යාලයේ සිට හැන්දෑ ඇඳිරිය මැදින් තම නිල නිවස බලා පිටත් වුණේය. මඟ දෙපස සියලූම කඩ සාප්පු වෙළෙඳසල්වලට දොරගුළු වැටී අවසානය. මහ මඟ ගමන් කරන කිසිදු වාහනයක හඬක් නොඇසිණි. මඟ දෙපස පහන් කණු නිවී ගොස්ය. නිවෙස්වලින් දිස් වූයේ කලාමැදිරි ආලෝකයක් පමණි. භීෂණය රට පුරා වැපිරුණු එදවස රටේ සෑම අස්සක් මුල්ලකම මිනිසුන්ගේ සිත් මර බියෙන් ඇළලී තිබුණු බව නොකිවමානය.

 පෙරදා මෙන්ම එදින රාත්‍රීයේද තම දරුවන් තුරුළු කර ගත් ගුණතිලක නින්දට වැටුණේ හෙට දිනක් ගැන බලාපොරොත්තු රහිතවය. ඒ ඔහු රාජ්‍ය නිලධාරියෙක් වූ නිසාය. විශේෂයෙන්ම සුසාන භූමි පාලකයෙක් වීම හෙයිනි. ඒ රාත්‍රීය ගුණතිලකට බෙහෙවින්ම දිගු රාත්‍රීයක් විය. විකාරරූපී සිහින ඔහු ඉදිරියේ මැවී පෙනිණි. ඈතින්, ඈතට වෙඩි හඬ දෝංකාර දුන්නේය. මොහොතකට හෝ ගුණතිලකගේ තුරුළට නිදි දෙව් දුව ආවේ නැත. යහනේ ඒ මේ අත පෙරළෙමින් සිටි ඔහුට නොසිතූ මොහොතක දොරට තට්ටු කරන ශබ්දයක් ඇසිණි. මොහොතක් ඒ ශබ්දයට කන් දුන් ඔහුට තවත් නිමේෂයකින් ඇසුණේ ගොරහැඬි කට හඬකි.

රොනී ගුණසිංහ

ගුණතිලකගේ සිත සැකයේ වලාවෙන් පිරී ගියේය. ‘මහා ? ජාමේ කවුද මේ ඇවිත් ඉන්නේ...’ දෙගිඩියාවෙන් මෙන් ඔහු ජනෙල් රෙද්ද ඈත් කොට දැල් කවුළුවෙන් එළිය බැලූවේය. පොලිස් ඇඳුම් ඇඟලාගත් කිහිප දෙනෙක්ද සිවිල් ඇඳුම් ඇඟලාගත් කිහිප දෙනෙක්ද නිවස ඉදිරිපිට සිටින බව ආකාස එළියෙන් හේ හඳුනාගත්තේය. පසුව ඔහු වෙන දෙයක් වෙන්නැයි කියා කමිසයක් ඇඟලාගෙන දොර විවර කළේය.

 ‘‘ගුණතිලක මහත්තයා බය වෙන්න එපා, අපි පොලිසියෙන්. මාව අඳුරනවද...? ඒ පිරිස අතර තරු පැළඳ සිටින නිලධාරියකු ඉදිරියට පැමිණ ඔහුගෙන් එසේ විමසුවේය.

 ‘‘මම තමයි රොනී ගුණසිංහ කියන්නේ. අපිට බොඩි දෙකක් පුච්ච ගන්න තියෙනවා. අපිත් එක්ක කනත්තට යමුද?

 ගුණතිලකගේ සිතේ හටගෙන තිබූ කුහුල තව තවත් දලූ ලන්නට විය. සිත වෙව්ලන්නට විය. සීතල ගතේ ඩා බිඳු මතු විය. එහෙත් ඔහු ගැහෙන සිත පාලනය කරගෙන ධෛර්යෙන් යුක්තව කතා කළේය.

 ‘‘මේ වේලාවට මෝලේ වැඩ කරන්න සේවකයො නෑ. දැන් කොහොමද මිනී පුච්චන්නේ. උදේ පාන්දර හත වෙනකොට ගෝලයො වැඩට එනවා. එතකොට බොඩි දෙක පුච්චලා දාන්නම්...’’ ගුණතිලක පොලිස් නිලධාරීන්ට තත්ත්වය පැහැදිළි කර දුන්නේය.

 ‘‘එහෙම කියලා බෑ. මේක දැන් කරන්න ඕන වැඩක්. හෙටට කල් දාන්න බෑ. කනත්ත කිට්ටුවම ඉන්න සේවකයාගේ ගෙදර තියෙන තැන කියන්න අපි ගිහින් එයාව අරගෙන එන්නම්...’’ තරු පැළª පොලිස් නිලධාරියාගේ හඬ තරමක් ආවේගාත්මක විය.

වෙඩි හඬ කිහිපයක් කනත්ත භූමියෙන් :

ගුණතිලක අසරණ විය. එදවස පොලිස් අණට අකීකරු වීම යනු ගිනියම් මූනිස්සමක් පපු තුරුලේ සඟවා ගැනීමකි. දරුවන් පස්දෙනකුගේ පියකු වූ ගුණතිලකට රකින්නට පවුලක් තිබිණි. දැන, දැන අකාලයේ මියැදීම ඒ දරුවන්ට කරන අසාධාරණයකි. මොහොතක් යටි සිත අවදි කළ ගුණතිලක

 ආදාහනාගාරයේ වැඩ කරන, කනත්තට ආසන්නයේම සිටින සේවකයාගේ නිවස පිහිටි ස්ථානය ගැන පොලිස් නිලධාරීන්ට සැළ කළේය. තම ගෝලයාගේ නිවසට යන මාර්ගය ද පැහැදිළි කළේය. හාත්පස අඳුර තුනී වෙමින් රිදී පැහැ සඳ එළිය ගලමින් තිබිණි. සීතල සුළං රැුළි තුරුපත් සෙලවුවද ගුණතිලකගේ ගත ගිනියම් වී තිබිණි. 

රාත්‍රීය පුරාවට ඇසුණු වෙඩි හඬ තවමත් ඈතින් ඈතට ඇසේ. ඊට නොදෙවැනිව උලමෙකුගේ මූසල අඳෝනාවක් ප්‍රදේශය පුරා රැව් පිළිරැව් දෙයි. ඒ සමඟ දෙසවන් අගුළුලමින් වෙඩි හඬ කිහිපයක් කනත්ත භූමියෙන් මෙන් පුපුරා ගියේය. ගත වූයේ විනාඩි දහයක පමණ කාලයකි. ගුණතිලක පැහැදිළි කර දුන් මඟ ඔස්සේ ගිය පොලිස් නිලධාරීන් කිහිපදෙනකු ආදාහනාගාර සේවකයාව කැඳවාගෙන ආවේය. වේලාව පාන්දර තුනට ආසන්න වෙමින් තිබිණි. පසුව සියල්ලෝම බොරැල්ල කනත්ත දෙසට ගමන් කළෝය.

''බොඩි දෙකෙන් උණු ලේ බේරෙනවා''

 ‘‘හැන්දෑවට වැඩ අවසන් වුණාට පස්සේ කනත්තේ යතුරු සියල්ල කාර්යාලයේ තියලා කාර්යාලයේ යතුර මම ගෙදර අරගෙන යනවා. මුලින්ම කාර්යාලය ඇරලා මෝලේ යතුරු කැරැුල්ල අරගෙන මමත් ආදාහනාගාරය පැත්තට ගියා. රොනී මහත්තයා මට කිව්වා මොඞ්ල් ෆාම් එක පැත්තේ ගේට්ටුව ඇරලා දෙන්න කියලා. මම ගෝලයට යතුරු දීලා ගේට්ටුව අරින්න පිටත් කළා. ගෝලයා ගේට්ටුව ඇරපු ගමන් වාහනයක් මෝල ළඟට රිවස් කරලා බොඩි දෙකක් මෝල ඉස්සරහා සිමෙන්ති පොළවට විසි කළා. 

තවත් වාහන පහක විතර පොලිස් නිලධාරීන් ඇවිත් හිටියා. මැරිලා හිටපු දෙන්නගේ කලිසම් විතරයි තිබුණේ උඩු කය මොනවත් නෑ. එතකොටත් බොඩි දෙකෙන් උණු ලේ බේරෙනවා. සිමෙන්ති පොළව ලේ විලක්. මට හිතුණු විදිහට එතැනට ගේන්න විනාඩි පහකට විතර කලින් තමයි වෙඩි තියලා මරලා තිබුණේ...’’

 ‘‘උඩුබැලි අතට සිමෙන්ති පොළොවේ වැටිලා තිබුණු බොඩි දෙකෙන් එකක් පෙන්නලා රොනී මහත්තයා මගෙන් ඇහුවා මෙයාව අඳුරනවද කියලා... මම කිව්වා අඳුනන්න බෑ කියලා. එතකොට රොනී මහත්තයා කිව්වා ‘‘මෙයා තමයි රෝහණ විජේවීර කියන්නේ’’ කියලා. අනිත් කෙනා හේරත් කියලා කෙනෙක් කිව්වා. මම බිරන්තට්ටු වුණා. මට හිතවත් ගෝලයා විතරයි ඉන්නේ. 

මේ මළමිනි දෙක පිච්චුවට පස්සෙ අපේ ඉරණම මොකක් වෙයිද... යමක් අහන්නවත්... කියන්නවත් වචන පිට වුණේ නෑ මුව ගොළු වුණා. ඒත් කරන්න කිසිම දෙයක් ඉතිරිව තිබුණේ නෑ, වෙන දේ බලාගෙන හිටියා...’’

(උපුටා ගැනීම - ඉරිදා දිවයින)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top