Pasidol

Sathosa

Sep 14, 2018

මුහුද මැදට පිඹගෙන යන අලුත්ම ගිනි නිවන යාත්‍රාව

මහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැව් සහ බෝට්ටු වෙත ක්‍ෂණිකව ළඟා වී ගිනි ගැනීම් පාලනය කිරීම සඳහාම මෙරට නිෂ්පාදනය කළ ප්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කිරීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දික්ඕවිට ධීවර වරායේදී ඊයේ ( 13 ) සිදු කෙරිණි .

සෝලා මැරීන් ලංකා ආයතනය විසින් මෙම ගිනි නිවීමේ යාත්‍රාව නිෂ්පාදනය කර ඇති අතර මෙම යාත්‍රාව සම්පුර්ණයෙන් මෙරට නිෂ්පාදනයකි . පැයට නාවික සැතපුම් 35 ක වේගයකින් යාත්‍රා කළ හැකි මෙම යාත්‍රාව සතුව පැයකට වතුර ලීටර් ලක්‍ෂ 06 ක් මීටර් 120 ක් දුරට විදිය හැකි පහසුකම් සහ ගොඩබිම සිට නාවීක සැතපුම් 200 ක දුර ගිනි නිවීමේ මෙහෙයුම් වල සාර්ථකව නිරතව නැවත ගොඩබිමට ළඟාවීමේ සියලු පහසුකම් වලින් සමන්විතය .

BELUGA – 18 නමැති මෙම ගිනි නිවීමේ යාත්‍රාවේ ගිනි නිවීම් භටයින් 06 දෙනෙකුට ගමන් කර මෙහෙයුම් සිදු කිරීමේ පහසුකම් ඇත . මහ මුහුදේ සිදුවන එවැනි ගිනි ගැනීම් පාලනය කිරීම පිළිබද විශේෂ පුහුණුවක් ද ඔවුන්ට ලබා දී තිබේ .

ඉන්ධන වැනි ද්‍රව්‍යයක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්වන නැවක් හෝ බෝට්ටුවක ගින්න පාලනය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලීටර් 8000 කින් ද මෙය සමන්විතය .

එවැනි ගිනි ගැනීමක් පිළිබඳව වාර්තා වූ වහාම අදාළ ස්ථානය නිශ්චිතව හදුනාගැනීමේ නවීන තාක්‍ෂණය මෙන්ම අදාළ නැවේ IMO අංකය මගින් එම නැව ඇති ස්ථානය පහසුවෙන් හදුනාගැනීමේ AIS තාක්‍ෂණයෙන්ද මෙය සතුව වේ.

එවැනි ගිනි නිවීමක් පාලනය කිරීමේ මෙහෙයුමකදී අදාළ ස්ථානයේ ස්ථානගත වී සිටීමේ GPS සහ සැටලයිට් තාක්‍ෂණය අනුව යාත්‍රාව ස්වයංක්‍රීයව බලගැන්වී සාගරයේ පා නොවී සිටීමේ විශේෂිත හැකියාවද සහිතව මෙම ගිනි නිවීමේ යාත්‍රාව නිපදවා ඇත .

මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා

“ඇත්තෙන්ම මෙවැනි නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේ සිදුකිරීම පිලිබදව රටක් ලෙස අපි සතුටට පත් විය යුතුයි . මොකද එය රටට විශාල කීර්තියක් සේම රටට විශාල විදේශ විනිමයක් රැගෙන ඒමේ වැඩපිළිවලක් . ඒ වගේම තමයි මම මිට වසර කීපයකට පෙර සිටම යෝජනා කළා අනතුරට පත්වන ධිවර ජනතාවට පිහිට වීමට මෙවැනි හදිසි ගලවා ගැනීම් සදහා අධිවේගී යාත්‍රා වල අවශ්‍යතාව . මම යෝජනා කර තිබුනේ අවම වශයෙන් මෙවැනි යාත්‍රා උතුර , නැගෙනහිර , දකුණ , වයඹ පලාත්වල ස්ථාන ගත කර තැබීමට . ”

“පහුගිය කාලයේ ධීවර ජනතාව මහ මුහුදේ විවිධ අනතුරුවලට ලක් වුණා. ඒ අවස්ථාවලදී ඔවුන්ට පිහිට වීමට මෙවැනි යාත්‍රා තිබුනා නම් ජිවත රැසක් බේරාගැනීමට හැකියාව තිබුණා . මම යෝජනා කරන්නේ හදිසි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහාද යොදාගත හැකි ලෙස මෙම යාත්‍රාව වැඩි දියුණු කළ යුතු බවයි . ”

මේ පිළිබඳව අදහස් දැක්වූ නිෂ්පාදක සමාගමේ කලමනාකාර අධ්‍යක්‍ෂ එස්.ඩි.ප්‍රේමතිලක මහතා

"එලෙසම ගින්නක් පාලනය කිරීමේ මෙහෙයුම්වලදී එල්ල වන අධික උෂ්ණත්වයෙන් මෙම ගිනි නිවීමේ යාත්‍රාව ආරක්ෂා කිරීමේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක ජලය විහිදුවා සිසිල් කිරීමේ යාන්ත්‍රනයකින් ද මෙය සමන්විතයි. අවශ්‍ය මෙහෙයුම් සඳහා යෙදවිය හැකි ලෝකයේ දැනට භාවිත කරන නවීන තාක්‍ෂණය මෙම යාත්‍රාව නිෂ්පාදනයේදී උපයෝගී කරගත්තා .ඊට අමතරව බේරාගන්නා පුද්ගලයින්ට හදිසි ප්‍රතිකාර ලබාදී කඩිනමින් ආසන්නම වරාය වෙත රැගෙන එම සඳහා ද මෙම යාත්‍රා සතුව පහසුකම් තියෙනවා" යැයි ඔහු සඳහන් කළේය .

තම සමාගම මේ වන විට ඉන්දීය නාවික හමුදාව වෙනුවෙන් අධිවේගී යාත්‍රා 80 ක් සහ මාලදිවයින වෙනුවෙන් අධිවේගී යාත්‍රා 05 ක් නිෂ්පාදනය කර එම රටවලට භාර දී ඇති බවත් , ඉන්දීය නාවික හමුදාවට නිෂ්පාදනය කළ එම අධිවේගී යාත්‍රා එරට වෙරළාරක්ෂක බලකාය විසින් භාවිත කරන බවත් හෙතෙම පැවසීය . තවද ශ්‍රී ලංකා රජය විසින් නියම කරන නිර්ණායක අනුව මෙම ගිනි නිවීමේ යාත්‍රාව තවත් යාවත්කාලීන කිරීම සහ පහසුකම් වැඩි දියුණු කිරීමට සුදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 



Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top