nsb
Sathosa

ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප්‍රධානීන් අතර හමුව ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප්‍රධානීන් අතර හමුව
Sep 14, 2018

හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ ස්ථාවරය Featured

නඩු පැවරීමකින් තොරව හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා දැඩි ලෙස දෝෂාරෝපණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (සැප්තැම්බර් 14) දින කොළඹ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් අමතමිනි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන්වීම හා තරුණයන් 11 දෙනෙකු අතුරුදහන්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් තවමත් නඩු ගොනු කිරීමට අපොහොසත්වීම ගැන ජනාධිපතිවරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා නීතිපතිවරයාට සිය අප්‍රසාදය පළකළේය.

Ravindra 670px 14 09 18ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගැනීමේ සූදානම ජනාධිපතිවරයාගේ අවධානයට ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා තිබෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනු මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 13) කැඳවූ විශේෂ කැබිනට් රැස්වීමේදී ද ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපතිවරයා සිකුරාදා මාධ්‍ය ප්‍රධානීන් හමුවූයේ එම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුවය.

විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් එකක් වූ බවට පළවන වාර්තා ගැන මාධ්‍ය ප්‍රධානියෙක් ජනාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එය විවිධ අදහස්වලින් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් වූ බවය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් ප්‍රකාශයක් හෝ ලබානොගෙන ඔහු අත්අඩංගුවට ගන්නා බවට මතයක් ඇතිකර තිබෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සඳහන් කොට තිබේ.

 ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනය : පොලිස්පතිවරයාට තදින් උපදෙස්

 මේ අතර නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය ලේකම් කාර්යාලය පවසන්නේ, "2015 අගෝස්තු මාසයේ සිට ත්‍රීවිධ හමුදා නිලධාරීන් යම් යම් පරීක්ෂණ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, රිමාන්ඞ් භාරයට පත්කර තිබුණ ද ඔවුන් කිසිවෙකුට එරෙහිව නඩු පවරා නොමැති අතර, ප්‍රමාණවත් හේතු සාධක තිබේ නම් නඩු පැවරීමට කටයුතු කිරීම මිස, අනවශ්‍ය ලෙස ඔවුන් රිමාන්ඞ් භාරයේ රඳවා තබා ගැනීම හේතුවෙන් රජය අපකීර්තියට පත්වන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ පිළිබඳ තමා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ පොලිස්පතිවරයා වෙත තදින් උපදෙස් ලබා දුන් බව ද කියා සිටියේය," යනුවෙන් සඳහන් කර තිබේ.

Fonseka Armyෆීල්ඩ් මාෂල් සහ හමුදපාති අතර මතභේදයක්

 වත්මන් රජය යටතේ කිසිසේත් රටේ ජාතික ආරක්ෂාව දුර්වල වී නොමැති බව එහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, "යුද්ධයක් නැති රටක හමුදාව පවත්වාගෙන යාමේදී ප්‍රතිසංවිධාන කිරීමක් සිදු වුව ද දුර්වල වීමක් සිදුව නොමැති අතර, අද ද ජාතික අය වැයෙන් වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට බව" මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පෙන්වා දුන් බවත් නිවේදනයේ දැක්වේ.

රටේ ආරක්ෂක කටයුතු සිදුවන අන්දම පිළිබඳ තමන්ගේ කිසිම පැහැදීමක් නැතැයි පවසමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා, වත්මන් හමුදාපතිවරයා විවේචනය කරමින් පසුගිය සතියේ අදහස් දක්වා තිබිණ.

"ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක හමුදාව පිළිබඳව ඇතැමුන් සිදුකරන විවිධ ප්‍රකාශ පෞද්ගලික කරුණු මුල් කර ගනිමින් සිදු කරන ප්‍රකාශ," බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය වී තිබේ.

 ජගත් සැසියට ආන්දෝලනයට ලක්විය හැකි ප්‍රකාශයක් !

 මෙම මස 25 වෙනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය හමුවේ ශ්‍රී ලංකාවට අදාළ නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කොට තිබේ.

"එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රීවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව එම යෝජනාවලියේ කරුණු ඇතුළත් වනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය," යනුවෙන්ද ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය වෙත මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත ද සිය යෝජනාවලිය ලිඛිතව භාරදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සුදානමක් !

 මේ අතර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පොලිස් ප්‍රධානියෙකුගේ සැලසුමක් තිබෙන බවට කර ඇති අනාවරණයක් පිළිබඳ මාධ්‍ය ප්‍රධානියෙක් විමසු විට ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකවන බවය.

ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා ගැන අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකිරීමට තමා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන අතර එම පරික්ෂණ කටයුතු අද ඉතා සාර්ථකව සිදුවන බවත් ඒ සඳහා තම අදහස් ඉදිරිපත් කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව පවතින බවත් කියා සිටියේය."

ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මගින් රටට අහිතකර තත්ත්වයක් ඇතිකරවන බවට කමිටුව නිර්දේශ ඉදිරිපත් කළහොත් එම අහිතකර තත්ත්වයන් ඉවත් කිරීමේ වගකීම තමා භාරගන්නා බව පැවසූ ජනාධිපතිවරයා, සීමානිර්ණ ගැටලු නිරවුල් වූ වහා පළාත් සභා මැතිවරණය පවත්වන බවට ප්‍රතිඥාවක් ද දුන්නේය.

පළාත් සභාවල මෙන්ම පාර්ලිමේන්තුවෙන් ද මනාප ජන්ද ක්‍රමය ඉවත්කිරීම සිය අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

(බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top