Sep 15, 2018

SF ගේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර අනතුරේ ! Featured

ඉකුත් සතිවල ආරක්ෂක අංශ සහ යුද හමුදාපතිවරයා දැඩි ලෙස විවේචනය කළ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරය ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුව ඇති අතර මේ වනවිටත් ජනාධිපතිවරයා එම තීන්දුව ගැන සිය උපදේශකයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට ඇතැයි දේශය පුවත්පත වාර්තාකර තිබේ.

ෆොන්සේකා මහතා විසින් කරන ලද විවේචන ගැන යුද හමුදාවේ දැඩි කනස්සල්ල ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා වෙත හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් විසින් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
 
මේ ගැන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් සමඟ අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා අමාත්‍ය ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට අගමැතිවරයා සමඟ සාකච්ඡාවක් කරන බව සඳහන් කර ඇත.
 
තහවුරු නොකළ රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධූරය නැතිනම් කැබිනට් ධූරය යන දෙකින් එකක් අහිමි විය හැකි බවය. 
 
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගනිමින් සිටිනා බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ද සඳහන් කළේය.
 
එසේම ඊයේ (14) මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ද ජනාධිපතිවරයා නම නොකියා වාචාලකමට කතාකරන කැබිනට් අමාත්‍යවරුන් ගැන සඳහනක් තැබූ අතර සාමූහික වගකීම දැරීමට බැරි අය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගතයුතු යැයිද කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top