Sathosa

Sep 16, 2018

''මගේ ගමන 2025 වෙද්දී ඉවර කරනවා'' - සජිත් ප්‍රේමදාස

අරලියගහ මන්දිරයට හා ජනපති මන්දිරයට යාමට සජිත් ප්‍රේමදාසට වසර 2030 වනතුරු බලා සිටීමට සිදුවන බව පොහොට්ටුවේ ඇතැම් නායකයින් පැවසුවද තමන්ගේ ඒ ගමන වසර 2030 දී නොව මේ වන විටත් ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සිය දේශපාලන අනාගතය පිළිබඳ ඇතැම් දේශපාලනඥයින් සිදු කරන ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එබව සඳහන් කලේ, අම්පාර දිස්ත්‍රීක්කයේ, දමන, ජයන්තිපුර ප්‍රදේශයේ ඉදිකළ “බිසෝවැඩිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (16) දින සහභාගී වෙමිණි.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 124 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

මෙම උදා ගම්මානය නිවාස 23 කින් සමන්විත වන අතර මෙය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 243 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්රවේශ මාර්ග හා විධිමත් අභ්යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

වසර 2025 දී මෙරට උදා ගම්මාන 20,000 ක් ඉදිකර රටේ සැමට සෙවණ ලබාදීම තමන්ගේ ගමන බවත්, අරලියගහ මන්දිරයට හා ජනපති මන්දිරයට යාමට තමන්ට කිසිදු කෑදරකමක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එම උත්සවයේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසිය.

කුමාර වෙල්ගම මතුකරන ප්‍රශ්නය ?

''පොහොට්ටුවේ නායකයින් කියනවා අන්න සජිත් ඉවරයි.... සජිත්ට 2030 වෙනකන් උඩට එන්න විදිහක් නැහැ කියලා. නමුත් මම කියනවා මම මගේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. මම ඒ ගමන 2025 වෙද්දී ඉවර කරනවා, ඒ සැමට සෙවණ ලබා දීලා.

හැබැයි මම කියන ගමනයි පොහොට්ටුවේ නායකයින් කියන ගමනයි කතා දෙකක්. හොයලා බැලුවමයි තේරෙන්නේ මෙයාලා 2030 වෙනකම් එන්න බැහැ කියලා කියන්නේ අරලියගහ මන්දිරයේ පදිංචියට මට එන්න විදිහක් නැහැ කියන එක. මම අහන්නේ ඇයි මේ තරම් පෙරේතකම. අවුරුදු 10 ක් හිටියා ඔය මන්දිර වල.

දේශප්‍රේමීත්වයේ නාමයෙන් රටේ අයිතිය සින්නක්කරව ලියා ගැනීමට සහ ජනපති අගමැති පුටු එක පවුලකට නතු කර ගැනීමට ගන්නා උත්සහය පිළිබදව අද පොහොට්ටුවේ ඇතැම් පිරිසකට වැටහී ඇති බව පැවසු සජිත් ප්‍රේමදාස මහතා, ජනපති අගමැති වන්නට පුළුවන් රාජපක්ෂ පවුලට පමණක්ද කියා කුමාර වෙල්ගම හිටපු ඇමතිතුමන් අද ප්‍රශ්න කරන බවද කීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය එම්. සී. ෆයිසාල් මහතාද සහභාගි විය.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top