Sep 17, 2018

'කුමන්ත්‍රණයක්' හෙළි කළ නාමල්ගේ දුරකථනය CID යට !

මාකදුරේ මදුෂ් නැමැත්තා යොදවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අනතුරක් සිදුකළ හැකි බවට ත්‍රස්තවාදී විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා හෙළි කළ නාමල් කුමාර මහතාට සිය දුරකථන පොලිසියට භාරදෙන ලෙස දැනුම් දීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී 'දූෂණ විරෝධී බලකාය' නමැති සංවිධානයේ නාමල් කුමාර මහතා එම කාරණය සනාථ කරමින් කියා සිටියේ, මෙම හඩ පට ඇති තමාගේ ජංගම දුරකථනය අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙසටද දැනුම්දී ඇති බවයි.

නාමල් කුමාර මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තමන් සමඟ පැවැත්වූ දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් හෙළි කරනු ලැබුවේ පසුගිය 12 වනදාය.

එසේ හෙළි කළ කරුණු සම්බන්ධයෙන් නාමල් කුමාර මහතා ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තුල්හිරිය ප්‍රදේශයේ පිහිටි තම නිවසට පසුගිය සිකුරාදා පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමාගෙන් පැය 6කට අධික කාලයක් ප්‍රශ්න කළ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top