Sep 18, 2018

'නොනිල රාජ්‍ය නායකයා මහින්ද බව ඉන්දියාව පිළිඅරන්' - වාසුදේව

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ඊළඟ නායකයා ලෙස ඉන්දියාව විසින් පිළිගෙන ඇති බව ඔහුට එරටේදී ලැබුන ගරු සත්කාරවලින් තහවුරුවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.

චීන රජය එම කාරණය අනියම් ලෙස හැමදාම පිළිගෙන තිබු බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (17දා) බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

'' මහින්ද රාජපක්ෂ මහත්තයට ඉන්දියාවේදී ලැබුණු ගරු සත්කාර, සැලකිලි රාජ්‍ය නායකයකුට ලැබෙන තත්ත්වයෙනුයි ලැබුණේ. මේ තත්ත්වය යටතේ අද වන විට මහින්ද මහත්තයා නිල නොලත් රාජ්‍ය නායකයාගේ තත්ත්වයට පත්වෙලා ඉවරයි.

දේශපාලන මතභේද පැවතීම, ආණ්ඩුවට පැහැදිලි ගමනක් නොතිබීම වැනි හේතුන් නිසා ආණ්ඩුවේ අර්බුදය ඉහළ යනවා. ඒ වගේම ආර්ථිකයේ පහළ වැටීමත් සිද්ධ වෙනවා.

 මෛත්‍රී - ගෝඨා අතර සම්බන්ධය :

 සිරිසේන ජනාධිපති සහ ගෝඨාභය මහතාගේ අතර පවතින හිතවත්කමත් ප්‍රසිද්ධ රහසක්. ඒ හිතවත්කම ගැන කවුරුත් දන්නවා. ජනාධිපතිවරයාට මතුවී ඇති ගැටලුවලට යම් උපදෙස් දීමක් සිදු කළ හැකි පුද්ගලයෙක් තමයි ඔහු. උපදෙස් දෙනවද නැද්ද මම දන්නේ නැහැ.

හමුදාවේ ඉහළ නිලධාරීන් අතර පවතින ගැටලු සහ එවැනි තත්ත්වයක් තුළ කළ යුතු දේ ගැන සිරිසේන මහතාට උදව්වක් විය හැකි කෙනෙක් තමයි ගෝඨාභය මහතා.

 මහින්ද අගමැති කිරීම:

 අද දේශපාලනයේ ලොකු ඉල්ලුමක් තියෙනවා මහින්ද මහතාව අගමැති කරන්න කියන එක.

මේ පාර්ශ්ව දෙකක් අතර ඇති කරගෙන ඇති ආණ්ඩුව සෑදීමේ ගිවිසුම අයින් කළොත් ආණ්ඩුවත් ඉවරයි. එවිට ආණ්ඩුව හදන්න කාවහරි අගමැති ලෙස පත් කළ යුතුයි.

කාගේත් බලාපොරොත්තුවත් ඉල්ලීමත් දැනටමත් නිල නොලත් රාජ්‍ය නායකයා ලෙස ලොවම පිළිගත් මහින්ද මහතා අගමැති ධුරයට පත් කරන්න කියන එකයි.

 රනිල්ගේ උවමනාව :

 මේ ගැන භීතියට, කෝපයට හා විරෝධයට පත්වනවා නම් පත්වෙන්නේ එ.ජා.ප.යට. රනිල් වික්‍රමසිංහ මහතාට. ඒ නිසා ඔහුට වුවමනාවක් සහ උනන්දුවක් තියෙනවා එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වන්න.

අනිත් අතට ජනාධිපතිවරයා ඝාතනය කරනු ලැබුවහොත් වෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩ බලන ජනාධිපති ලෙස අගමැතියි කටයුතු කරන්නේ.

මේවායින් පැහැදිලි වන්නේ මොන දේවල් වුණත් මේ ඝාතන සැලැස්මට හේතු පාදක වන පසුබිමක් නම් තියෙන බවයි.

මේ ඝාතන සැලසුම පිළිබඳ හරියාකාර පරීක්‍ෂණ කරගෙන යන්න නොහැකි වී ඇත්තේ පොලිස්පති මේ ගැන සිය උනන්දුව සහ අනුග්‍රහය නොදැක්වීම සහ අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට ඔහු සූදානම් නැතිකම.

 ජනපති - අගමැති ගැටුම :

 අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් අතර රණ්ඩුවක් තියෙනවා කියන එක මුළු රටමත් ලෝකයත් දන්නවා.

ස්ථාවරයන්, ප්‍රතිපත්ති, තීරණයන් දෙදෙනාගේ වෙනස්. ගත්තු තීරණ නැවත සලකා බැලීමට ජනාධිපතිතුමා මැදිහත් වීම දැන් සිරිතක් බවට පත්වෙලා.''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top