Sathosa

Sep 25, 2018

'OMP කාර්යාලය සමච්චලයට ලක් කරලා' - ආණ්ඩුවට ජාත්‍යන්තර විවේචනයක් ! Featured

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව ප්‍රතික්ෂේප කරන අමාත්‍යවරුන් දෙදෙනකු අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලයේ (OMP) නිර්දේශ ක්‍රියාත්මක කිරීම බාර කමිටුවට පත් කිරීම මගින් ආණ්ඩුව එය සමච්චලයට ලක් කර ඇති බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් චෝදනා කරයි.

අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් භාරදී ඇත්තේ දස පුද්ගල කැබිනට් අනු කමිටුවකටය.

එම කමිටුවේ සාමාජිකයකු වන අමාත්‍ය මහින්ද සමරසිංහ බලහත්කාර අතුරුදහන් කිරීම් ඇතුළු යුද අපරාධ ප්‍රතික්ෂේප කර ඇති බව පෙන්වා දෙන දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් මුලස්ථාන කොටගත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) ඔහු යුද කලාපයේ හිරවී සිටි නිරායුද වැසියන් පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් නොකළ බවද පෙන්වා දෙයි.

OMP කාර්යාලය සම්බන්ධයෙන් ආණ්ඩුව බරපතල ලෙස සලකන්නේ ද යන ප්‍රශ්නය ඔහුගේ පත්වීම නිසා මතුවන බව පවසන ITJP සංවිධානය අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට සිය කාර්ය භාරය නිම කිරීම සඳහා දින නියමයක් නොදීමෙන් සිදුවන්නේ කල් මැරීමක් ද යන සැකයද පල කරයි.

 ජාත්‍යන්තරයේ “අන්තිම බලාපොරොත්තුව”

 “ජාත්‍යන්තර ප්‍රජාවේ බොහෝදෙනා විසින් අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය සලකනු ලබන්නේ ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ අන්තිම බලාපොරොත්තුව ලෙසයි,” යනුවෙන් ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සුකා පවසන්නීය.

“මෙයාකාර පත් කිරීමක් මගින් සිදුවන්නේ ආයතනය ද, ඊටත් වඩා සිය සමීපතමයන් පිළිබඳ තොරතුරු සොයන වින්දිතයන් ද සමච්චලයට ලක්කිරීමකි. ඉරාකය ළඟට වැඩිම අතුරුදන් වුවන් සංඛ්‍යාව ඇත්තේ ශ්‍රී ලංකාවේ බව වාර්තා වේ. මෙය ශ්‍රී ලංකාවේ රජය පීඩිතයන්ගේ ප්‍රවිචාරණය සම්බන්ධ තමන්ගේම වැඩපිළිවෙල අත්හැරියාක් මෙන් කෙලවර නොකර, අවංක භාවයෙන් කටයුතු කිරීම සහතික කිරීමේ වගකීමෙන් සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම බැඳ තබන ප්‍රශ්නයකි.”

යුද්ධාවසානයේ ශ්‍රී ලංකා යුද හමුදා අත් අඩංගුවට පත්වූවන්ට අත්වූ ඉරණම හෙළි කරගැනීම ප්‍රමුඛත්වයෙහි ලා සලකන බව OMP කාර්යාලය තිර කොට කියා තිබියදී භාරවුවන් ඝාතනය නොකළේ යැයි මෑතදී කොළඹදී මාධ්‍යවේදීන් අමතා කළ ප්‍රකාශයද මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ගේ යෝග්‍යතාව ප්‍රශ්න කිරීමට හේතුවක් ලෙසින් ITJP සංවිධානය විසින් දක්වා තිබේ.

යුද්ධාවසානයේ රජයේ හමුදා විසින් යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ සිදු කළ බවට නැගෙන චෝදනා පසුගිය ආණ්ඩු සමයේ මානව හිමිකම් භාර අමාත්‍යවරයා ලෙසින් ඔහු විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ ආකාරයද ITJP නිවේදනයේ දැක්වේ.

“රාජපක්ෂ තන්ත්‍රය යටතේ සිදුකරන ලද නරකම උල්ලංඝන සම්බන්ධ මතධාරියා සහ ක්ෂමාලාපකයා වන මොහු කිසිදු ආකාරයකින් සිය මතය වෙනස් කළ බවක් පෙන්නුම් කර නැත,” යි පවසන යැස්මින් සුකා OMP කාර්යාලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ කැපවීම ප්‍රශ්න කරයි.

“ආධාර දෙන රටවලින් සැලකිය යුතු ජාත්‍යන්තර ආධාර ලැබීමට නියමිත OMP කටයුතු වලට සම්බන්ධ වී මෙවන් පුද්ගලයකු කරන්නේ කුමක්ද? බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන් පිළිබඳ සත්‍යය හෙළි කර ගැනීමට දේශපාලන කැපවීමක් ඇති බවක් ඔහුගේ පත් කිරීමෙන් පෙන්නුම නොකෙරේ.”

සිය නායකත්වයෙන් යුත් කාර්යාලයේ වැඩ කටයුතු සාර්ථක කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස OMP ප්‍රධානී සාලිය පීරිස් අවධාරණය කර තිබුනේ දේශපාලන අනුග්‍රහයයි.

Yasmin in jaffna 2 විස්තර ලිපිගොනු

ආගමික අන්තවාදීන්ට අනුග්‍රහ දක්වන බවට චෝදනා ලබන, සුළු ආගමිකයන්ට, ප්‍රකාශනයේ නිදහසට හා සමලිංගික අයිතියට විරෝධය දක්වා ඇති විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා කැබිනට් අනුකමිටුවේ නායකත්වය දැරීමේ යෝග්‍යතාවද ITJP විසින් ප්‍රශ්න කොට ඇත.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඇතුළු මර්දනීය අනපනත් ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරන විට ඊට දැඩි ලෙස විරුද්ධවූ පුද්ගලයකු ලෙසද, ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධයෙන් බොදුබල සේනානායක ගලබොඩඅත්තේ ඥානසාර අත් අඩංගුවට ගන්නා ලෙස බලකරමින් පන්දහසකට වැඩි පිරිසකගේ අත්සනින් පෙත්සමක් භාර දී තිබියදීත් ඔහු සමග පාර්ලිමේන්තු පරිශ්‍රයේ සාකච්ඡා කිරීම ඇතුලු මානව හිමිකම් ක්ෂේත්‍රයේ විරෝධයට පාත්‍රවූ ක්‍රියාකාරකම් ගණනාවක් කළ අයකු ලෙසද, විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා කටයුතු කර ඇති ආකාරය පිළිබඳ විස්තර ITJP සිය නිවේදනය සමග නිකුත් කර තිබේ.

මහින්ද සමරසිංහ අමාත්‍යවරයාගේ අතීත මානව හිමිකම් චර්යාව පිළිබඳ සවිස්තර ගොනුවක්ද ඒ සමග පල කර ඇත.

යුද හමුදාවට භාරවීමෙන් පසු අතුරුදහන් වූ සිය ගණනකගේ ලැයිස්තුවක් ද ITJP මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර ඇත.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top