Sathosa

Sep 26, 2018

"ලෝඩ් ස්ටාර්" පරිසර හිතකාමී සමාජ සත්කාරයක

වසර තිහක් තිස්සේ පුරන්ව තිබූ අක්කර තිහක කුඹුරු යායක් සාරවත් ගොවිපළක් බවට පත් කිරීමේ කටයුත්ත, මිනුවන්ගොඩ කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනයේ තවත් සමාජ සත්කාරයක් ලෙසින් පසුගියදා ක්‍රියාවට නැංවිණි.

මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ පිහිටා තිබෙන කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනයට යාබද මෙම කුඹුරු යාය වී සහ එළවළු වගාව සඳහා වන ආදර්ශවත් ගොවි‍පළක් ලෙසින් සංවර්ධනය කිරීමට නියමිත අතර ප්‍රථම අදියර යටතේ එහි අක්කර 6ක් වගා කෙරේ. රසායනික පොහොරින් තොර වස විස නැති ආහාර ප්‍රදේශයේ ජනතාවට සහන මිලට ලබාදීම අරමුණු කොට ගෙන මෙම ගොවිපළ ආරම්භ කරන ලදි.

පුරන් කුඹුරක් සරුසාර ගොවි‍පළක් කරන්නට දහදිය, ශ්‍රමය වැගිරූ සේවක සේවිකාවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් වෙත සම්මාන සහ තිළිණ ප්‍රදානය කරන්නට ද කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනය කටයුතු යොදා තිබුණේය.

එසේම ගොවිපළේ කටයුතු ආරම්භ කෙරුණු දා රාත්‍රියේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද, පසුදින හීල් දානමය පිංකමක් ද සංවිධාන ‍කර තිබුණේ සෑම සුබ කටයුත්තකදීම ආගමික ආශිර්වාදය වැදගත් බව සිහිපත් කරමිනි.

ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතා විසින් ආයතනය වෙත පරිත්‍යාග කරන ලද කුඹුක් පැළ සහ මී පැළ දෙසියයක් ද ගොවිපළ වටා සිටුවීමේ කටයුත්ත ද මෙදින සිදුකෙරිණි. ශ්‍රී ලාංකේය අනන්‍යතාව සනිටුහන් කෙරෙන පාරම්පරික ගොවිතැනේ දී කුඹු සහ මී ශාඛ වෙත හිමිවන්නේ විශේෂ ස්ථානයකි.

අඛණ්ඩව සිවු වසරක් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද මිනුවන්ගොඩ කැම්සෝ ලෝඩ් ස්ටාර් සමාගම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කැපී පෙනෙන ආකාරයේ සමාජ සත්කාරක වැඩසටහන් මෙහෙයවන ආයතනයකි.

ජනාධිපති සම්මානයෙන් මෙන්ම සමාජ සත්කාරක සේවා වෙනුවෙන් ජනතා සම්මානයෙන් ද නිබඳව පිදුම් ලබන කැම්සෝ ලෝඩ් ස්ටාර් අයතනය විසින් මේ වන විට ක්‍රියාවට නංවා ඇති සමාජ සත්කාරක වැඩසටහන් සංඛ්‍යාව සියයකට අධිකය.

සැප්තැම්බර් මස 18 වැනි දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අපනයන ජනාධිපති සම්මාන උළෙලේ දී අංශ හතරකින් සම්මාන දිනා ගැනුමට කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනය සමත් විය.

කැම්සෝ ලෝඩ් ස්ටාර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කොන්ඩ්‍රාඩ් ප්‍රින්ජස්, මිශ්‍රණ අංශ ප්‍රධානී සෙබස්තියන් ඩීමන්, මානව සම්පත් හා පරිපාලන විධායක අධ්‍යක්ෂ සරත් කුමාර, කර්මාන්තශාලා අධ්‍යක්ෂ අජිත් සේනානායක, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ උප සභාපති සුජීව සම්පත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගොවිපළේ කටයුතු ආරම්භ කරන ලදී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top