Sathosa

Sep 29, 2018

"LTTE ගුවන් ප්‍රහාර" මමත් දන්නේ නැති තොරතුරක්- ගෝඨාගෙන් ජනපති මෛත්‍රීට පිළිතුරු Featured

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන සති කීපය තුළ එල්ටීටීඊ සංවිධානය කොළඹට ගුවන් ප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කළ බවක් තමන් දැන සිටියේ නැතැයි එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් පදවිය දැරූ ගෝඨාභය රාජපක්ෂ පවසයි.
එමෙන්ම යුද්ධයේ අවසාන දිනවල තමන් විදේශගත නොවූ බව ද ඔහු අවධාරණය කළේය.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපුලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ බව සඳහන් කළේ, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැතිවරයා, හමුදාපති සරත් ෆොන්සේකා හෝ එවකට ආරක්ෂක ලේකම්වරයා යුද්ධයේ අවසාන සති දෙක තුළ ශ්‍රී ලංකාවේ නොසිටි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග ප්‍රතිචාර දක්වමිනි.

"අවසාන සති දෙකේ මමයි වැඩ බලපු ආරක්ෂක ඇමතිවරයා. අවසාන සති දෙකේ ලැබුණු වාර්තා තමයි, අවසන් සටන පසුබහින්නේ නෑ එල්ටීටීඊය, දකුණු ඉන්දියාවේ චෙන්නායි හරි කොහේ හරි කැලෑ පැත්තක ඉඳල ඇවිල්ල, කොළඹ සම්පූර්ණ විනාශ කරනවා උඩින් බෝම්බ දාල කියල රජයට තොරතුරු ලැබුනේ. ඒ නිසා තමයි ඔක්කොම ගියේ රටින්," යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිව්යෝක් නුවරදී ශ්‍රී ලාංකිකයන් අමතමින් පැවසීය.

යුද අපරාධ චෝදනා !

කෙසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ තමන්ට පවා එය අලුත් පුවතක් බවය.

"ජනාධිපතිතුමා මම දන්නේ නැති තොරතුරක් ඔය කිවුවේ මම හිතන්නේ ලෝකෙම දැනගෙන හිටියේ නැති දෙයක්. මට නම් එහෙම තොරතුරක් තිබුණේ නැහැ," ඔහු පැවසීය.

"මම නම් හිටියා ලංකාවේ. මම කොහෙවත් ගියේ නෑ."

කෙසේ වුවත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් යුධ අපරාධ සිදු කළ බවට "බොරුවට දෝෂාරෝපණය කරන්නේ" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන පරිදි ඔහු යුද්ධයට දේශපාලන නායකත්වය දුන් දිනවලට අදාළව බැවින් ජාත්‍යන්තර වශයෙන් එල්ලවන එම චෝදනාවලින් රට නිදහස් කරගැනීම ජනාධිපතිවරයාගේ වගකීම බව ගෝඨාභය රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය.
maithree adressingජනපති සිරිසේන නිව්යෝක් නුවරදී ශ්‍රී ලාංකිකයන් අමතමින්
                          
"එතකොට ජනාධිපතිතුමා නොදැනුව මං හිතන්නේ එතුමාගේ විදේශ ඇමතිවරයා ජිනීවා නුවරදී යෝජනාවකට සම අනුග්‍රහය දක්වනවා. ඉතින් එතුමා මේක මෙහෙයවපු හන්ද හොඳට දන්නවනේ එහෙම දේවල් සිදු වුනේ නෑ කියල. ඒ නිසා මේක වහාම හකුලාගන්න කියල, මේකෙන් ඉවත්වෙන්න කියල විදේශ අමාත්‍යාංශයට උපදෙස් දෙන්න ඕන."

එයින් අදහස් වෙන්නේ කිසියම් ලෙසකින් ආරක්ෂක හමුදා විසින් යුධ අපරාධ සිදු කළේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහි වගකීම භාරගත යුතු බව දැයි බීබීසී සිංහල සේවය විමසූ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, එවැනි කිසිදු අපරාධයක් සිදු නොවූයේ යයි තමන් දන්නා බවය.

ජීවිතය තර්ජන !

යුද්ධයේ අවසාන සති කිහිපයේ තමන්ගේ ජීවිතයට ද තර්ජන පැවති බවත් ජනාධිපතිවරයා නිව්යෝක් නුවරදී සඳහන් කළේය.

"ඒ අවසන් සති දෙකේ මම කොළඹ නෙවෙයි හිටියේ. ඒ අවසන් සති දෙකේ මම රටේ තැන් තැන්වල හිටියේ. මොකද මම ඉන්න තැනත් දැනගනීද කියල," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ඒ අවස්ථාවේ තමන්ගේ ජීවිතයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන අන්දමේ තර්ජනයක් එල්ල වී තිබුණේ දැයි කළ විමසීමට පිළිතුරු දීම ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කළේය.

හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ හමුදාපතිවරයා පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පළ කළ අදහස් ගැන විමසූ විට ඔහුගේ ප්‍රතිචාරය වූයේ "මම කතාකරන්නේ මම ගැන නේ," යනුවෙනි.
ltteයුද්ධයේ අවසාන දිනවල විදේශගතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට පැමිණියේ 2009 මැයි 16 වෙනි දිනය.

වැඩිදුර කරුණු විමසීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.

'රණවිරුවෝ':

මේ අතර නිව්යෝක් නුවරදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, "එල්ටීටීඊයට විරුද්ධව සටන් කරපු සෑම සොල්දාදුවෙකුගේ ඉඳල හමුදාපතිවරයෙක් දක්වා ශ්‍රේෂ්ඨ රණවිරුවෝ," යනුවෙන් ද කියා සිටියේය.

කොටි සංවිධානයට විරුද්ධව සටන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ රජය යටතේ කිසිවෙකුටත් චෝදනා නගා නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, කෙසේ වුවත් යුද්ධය සමයේ හෝ යුද්ධයෙන් අනතුරුව යුද්ධයට අදාළ නොවන බොහෝ ඝාතන සිදු වූ බවත් පෙන්වා දුන්නේය.

"ඒවාට ත්‍රිවිධ හමුදාවත් එක්ක තිබුණු පෞද්ගලික සම්බන්ධතා උඩ කවුරුන් හෝ හමුදාවල නිලධාරීන් පාවිච්චි කළා නම් ඒක බරපතල වැරැද්දක්," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

එවැනි ඇතැම් පරීක්ෂණ සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවේ සේවය කළ පුද්ගලයන් විත්තිකරුවන් බවට පත් වී ඇති අතර, එවැනි ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාවට නැගීම "සැබෑ රණවිරුවන්ට කරන විශිෂ්ඨ ගෞරවයක්," බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

යුද්ධයෙන් අනතුරුව "රණවිරුවන් යන නාමය භාවිත කරමින් කරන්නා වූ අහේනිය" ආරක්ෂක හමුදාවලට "කැළලක්" බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ද මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකර නැතැයි යන්න සිය ස්ථාවරය වුවත්, යම්කිසි අපරාධයක් පිළිබඳව චෝදනා එල්ල වේ නම්, ඒ ගැන විභාග කිරීමට බියපත් විය යුතු නැතැයි ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ඒ අවස්ථාවේ කියා සිටියේය.

"තවත් චෝදනා තිබෙනවා නම් ඒ පරීක්ෂණවලට සහාය දැක්වීම තමයි අපේ යුතුකම. අපි ඒ සඳහා සූදානම්. එහෙම නැතුව සිදුවීමක් වෙලා තිබෙනවා නම් ඒක හංගන්න යුද හමුදාවට අවශ්‍යතාවක් නැහැ. මම එහෙම කියන්නේ එහෙම වෙලා නැති නිසා."

ravindra සැකකරුවෙකුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.මේ අතර 2008 වසරේ තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව සම්බන්ධ පරීක්ෂණයේ සැකකරුවෙකුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධනට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

අද්මිරාල්වරයාට එරෙහිව සාක්ෂි දුන් නාවික ලුතිනන් කමාන්ඩර් වරයෙකුට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි පොලිසිය පසුගියදා අධිකරණය හමුවේ සඳහන් කළේය.

(බීබීසී සිංහල සේවය)

සබැඳි පුවත් :
''මහින්ද-ගෝඨා-ෆොන්සේකා රටින් පැනගියා. අවසන් සටනට නායකත්ව දුන්නේ මමයි'' - ජනාධිපති කියයි 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top